ජාතියට මග කියන්න ඇවිත් වින කටින අවස්ථාවාදියාගෙන් පරිස්සම්වනු!

May 15, 2019 at 6:47 pm | by admin

සිංහලයන්ගේ සමගියක් ඇති කිරීමටත් ඒ වටා ජනවර්ග එකතු කිරීමටත් කටයුතු කරන සියල්ලන්ට අපි කෘතඥ වෙන්න ඕන. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි ජාතික ප්‍රශ්නයක්. ඒත් එයිනුත් ප්‍රයෝජන ගන්න හදන උදවිය ඉන්නවා. තමන් කළ සියලු පව් වරක් කැලණිය වැඳීමෙන් නැති කර ගැනීමට උස්සාහ දරණ චම්පක වැන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕන. ඔහු ජාතිකත්වයට විරුද්ධ ව ඉඳල, ජාතිය කියන්නෙ මළකඳක් නලින් සිල්වා කිව්වට ඒක කර ගහ ගෙන යන්න බැහැ කියල, ඩී එස් සේනානායක විදුහලේ සිසුන් කොටුව දුම්රිය පෙළේ දි ඝාතනය කෙරුණට පස්සෙ ඔන්න දැන් ඉල්ලමක් පෑදිල කියල ජාතිකත්වයට මාරුවෙලා ඉන් පස්සෙ ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කරල එය මරා දැමීමට කටයුතු කරල රනිල් බලයට පත් කිරීමේ පාප කර්මයට දායක වෙච්ච කෙනෙක්.

ඔහු සමග තවමත් හාමුදුරුවරු කිහිප නමක් හා ගිහියන් කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේ ඉන්නවා. ඒ සමග අප්‍රසිද්ධියේ ඔහු සමග ඉන්න ප්‍රසිද්ධ හාමුදුරුවරුත් කිහිප නමක් ඉන්නවා. අප ඔහුගෙන් ප්‍රවේසම් වෙන්න ඕන. ඔහුට අද නැවතත් ඉල්ලමක් හම්බ වෙලා. ඒ පාස්කු ආක්‍රමණය. ඔහු ඒ හරහා ජාතියට මග පෙන්වන්න ලැහැස්ති වෙනවා. මෙරට සිංහල බෞද්ධ අන්තවාදයක් නැහැ. ඒ නිසා ඔහුට මොන වෙස් මුහුණු දාගෙන ආවත් ජාතියට මගක් පෙන්වන්න බැහැ. ඔහුට කරන්න පුළුවන් ජාතියට වින කරන එක පමණයි. ඔහු සුළු කාලයක දි කිහිප දෙනකු සමග එකතු වී විශාල විනාශයක් කරනවා. ඉන් පසු එයින් ගොඩ එන්න මහා කාලයක් යනවා.

සිංහල බෞද්ධ අන්තවාදයක් තිබුණ නම් අන්තවාදී සංවිධානයක් ගොඩ නැගෙන්න ඕන. මෙරට අඩු තරමෙන් සිංහල හරි බෞද්ධ හරි නමින් දේශපාලන පක්‍ෂයක් ගොඩ නගන්න බැහැ. දෙමළ මුස්ලිම් නම්වලින් දේශපාලන පක්‍ෂ බිහි වුණත් සිංහල හරි බෞද්ධ හරි නමින් දේශපාලන පක්‍ෂ ගොඩ නගා ප්‍රචලිත කරන්න බැහැ. ටික දෙනකු ටික කාලයකට එවැනි පක්‍ෂවලට සහාය දේවි. එහෙත් සිංහල සමාජයෙහි එවැනි පක්‍ෂවලට බහුතරයකගෙ සහාය ලැබෙන්නේ නැහැ.

සිංහලයන් සංස්කෘතික වශයෙන් අන්තවාදී නැහැ. බෞද්ධ වුණත් කතෝලික වුණත් ක්‍රිස්තියානි වුණත් සිංහලයන්ගේ සංස්කෘතියෙහි මධ්‍යම ප්‍රතිපදාව කියල කතාවක් තියෙනවා. බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂය මධ්‍යම ප්‍රතිපත්තියක් අනුගමනය කරනව කිව්වෙ ඒ ආභාසයෙන්. ඒ පක්‍ෂයේ දෙමළ කතා කරන අය මෙන් ම මුස්ලිමුන් ද හිටියා. කඩුගන්නාවෙ සිංහල මරික්කාර් මට මේ වෙලාවෙ මතක් වෙනව. ඒ පක්‍ෂයෙන් හාමුදුරුවරු ඡන්දෙට ඉදිරිපත් කෙළේ නැහැ. ඒ වගේ ම බණ්ඩාරනායක මහතා පක්‍ෂයේ දූෂිතයන් ආරක්‍ෂා කෙළෙත් නැහැ.

අදත් ශ්‍රී ල නි ප හරි පොහොට්ටුව හරි (පොහොට්ටුවටත් තියෙන්නෙ පනස්හයේ උරුමය මිසක් වෙන උරුමයක් නො වෙයි. ඒ බව බැසිල් කොහොම වෙතත් මහින්ද දැන ගන්න ඕන. පොහොට්ටුවෙත් ඉන්නෙ පනස්හයේ දරුවන් බව හැත්තැනවයේ බණ්ඩාරනායක සමරු කමිටුවේ ප්‍රධානියා වූ මහින්ද දන්නවා) දූෂිතයන් අන්තවාදීන් ආරක්‍ෂා කළ යුතු නැහැ. මුස්ලිම් හරි වෙනත් ආගමික හරි ජනවාර්ගික හරි අන්තවාදීන් රැකිය යුතුත් නැහැ. රිෂාඩ් බද්‍යුද්දීන්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ගේන්න ඕන. ඔහුගේවත් හිස්බුල්ලාගේවත් ඡන්ද බලාගෙන දේශපාලනය කරන්නන්ගේ දේශපාලනය අවසන් කරන්න ඕන.

අද මතයක් ගොඩ නගල තියෙනව සිංහල නොවන ඡන්ද නැතිව දිනන්න බැහැ කියල. විශේෂයෙන් ම ජනාධිපතිවරණයක් දිනන්න බැහැ කියල. ඒ නිසා විධායක ජනධිපති ධුරය අහෝසි කරන්න ඕන කියල තර්කයකුත් ගෙනාවා. අද ඒ අය ම ඊනියා භාරකාර ආණ්ඩුවක් ගැන කියනවා. භාරකාර සම ආණ්ඩුවක් පහුගිය ඔක්තෝම්බරයෙ හදපු වෙලාවෙ එයට විරුද්ධ වුණෙත් ඒ අයමයි. ඒ අය වැඩ කරන පිළිවෙළේ රටාවක් තියෙනවා. ඒ රටාව රනිල්ගෙ රටාවට සමාන්තරයි.

කවුරු හරි අහන්න බැරි නැහැ මේ රට සිංහල බෞද්ධ කියා කීම අන්තවාදී නො වේ ද කියල. මා මේ කතා කරන්නෙ පඬියන් පඬි පෝතකයන් ගැන නො වෙයි. ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න ඕන නැහැ. මුහුණු පොතෙන් පිට ඔවුන්ට මුහුණක් නැහැ. මුහුණු පොතෙත් සමහරු පෙනී සිටින්නෙ ව්‍යාජ මුහුණුවලින්. මා කතා කරන්නේ මංගල සමරවීර වැනි අය ගැන. මංගලට ඡන්ද නැති වුණත් ඔහු දක්‍ෂ බේගලයෙක් (බේගල් කියන්නෙක්). මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කිව්ව ඔහු ඊයේ වෙන කොට ටිකක් පල්ලම් බැහැල.

ඔහු දැන් කියන්නෙ මේ රටේ පළමු පංතියෙ පුරවැසියො නැහැ කියල. සිංහල මුස්ලිම් මේ ඔක්කොම එක සමාන කියල. කවුද නැහැ කිව්වෙ. මේ රටේ පළමු පංතියෙ පුරවැසියො ඉන්නව. එ සිංහලයන් නම් නොවෙයි. එ දේශපාලනඥයන්. ඒ බේගල්ලා රිෂාඩ් බද්‍යුද්දීන්ලා. අපි මේව අනන්තවත් කියල තියෙනවා. නීතිය ඉදිරියේ කවුරුත් සමානයි ඒත් සංස්කෘතීන් සමාන නැහැ. අද මේ රටෙත් අධිපතිවාදී සංස්කෘතිය ඉංගිරිසි ක්‍රිස්තියානි. අප කියන්නෙ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැනක් තියෙනවා. ඒ තැන දෙන්න කියා. බේගල්ලා විරුද්ධ වන්නේ ඒකටයි. බේගල්ලාට ඕන ඊනියා ලාංකික කතාවකින් මෙරට ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැක ගන්න.

බේගල්ලා දැන් තවත් බේගලයක් ඇද බානවා. තැන තැන කලබල කරන්නෙ විරුද්ධ පාක්‍ෂිකයන්ලු. ඔවුන් නොකියා කියන්නෙ ඒ සිංහල බෞද්ධයන් කියා. බේගල්ලා ඊනියා කළු ජූලියකුත් මතක් කරනවා ජූලි කලබලවලින් ප්‍රයෝජන ගත්තෙ කවුද? ජේ ආර් හා පසුව වන්ද්‍රිකා. අද කලබල ඇති වෙලා පැතිරෙනකන් බලා ඉන්නෙ කවුද? බටහිරයන් හා රනිල්ගෙ ආණ්ඩුව. කලබලවලින් ප්‍රයෝජන ගන්නෙ බටහිරයන්. රනිල්ට පූර්ණ බලතල දීල මෛත්‍රිපාල හිරකාරයකු කරගෙන නාමික ජනාධිපති කෙනකු ලෙස පවත්වා ගෙන යන්න, මැතිවරණ නැති කරන්න.

ඒ සඳහා නායකයන් නැතිව අසරණ වී ඇති සිංහල බෞද්ධයකු ලවා මුස්ලිම් කඩයක් කැඩවීම ප්‍රමාණවත්. සිංහල බෞද්ධයකු කඩයක් කඩන්නේ ඔහුගේ අසරණකමට මිසක් අන්තවාදී වීමකින් නො වෙයි. බේගල්ලා මේ රට සිංහල බෞද්ධ නොවේ ආදී කතා කියමින් සිංහල බෞද්ධයන් ප්‍රකෝප කරනවා. ප්‍රකෝප වී වැඩ කිරීම ආගමික අන්තවාදී වීමක් නො වෙයි. සිංහල බෞද්ධ සමාජයට බලපෑමක් කළ හැකි අන්තවාදී සංවිධානයක් සිංහල බෞද්ධයන් අතර නැහැ. සිංහල බෞද්ධයන් ප්‍රකෝප වී කරන වැඩ ද අත්හරින්න ඕන. විවිධ අන්තවාද ත්‍රස්තවාද මඩින්න හමුදාව හා පොලීසිය ඉන්නවා.

අද බටහිරයන් බලන් ඉන්නෙ පාස්කු ප්‍රහාරයට දඬුවම් කරන්න නො වෙයි තැන තැන කලබල කරවල සිංහල බෞද්ධයන් ආගමික අන්තවාදීන් කියල ලෝකයට කියලා සිංහල බෞද්ධයනට දෝෂාරෝපණය කරන්න. අද සහරන් අමතක කරලා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කිසිවක් කියාගන්න බැරිව හිටිය සිංහල බෞද්ධ විරෝධී අන්තවාදීන් අද සිංහල බෞද්ධ වරදකරුවන් සොයනවා.

ආචාර්ය නලින් ද සිල්වා

kalaya.org

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස