ජන දුක රටට කියන සිරසට එරෙහි ආණ්ඩුව ගයන්නේ අවසන් හංස ගීතයයි…..! – පාඨලී චම්පික…

July 7, 2021 at 10:02 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනකි

සිරස යළිත් රාජපක්ෂ වියරුවේ ගොදුරක් බවට පත්ව තිබේ.

දිනෙන් දින අසාර්ථක වෙමින් තිබෙන ප්‍රජා පීඩක පාලනය හමුවේ ජනතාවගේ දුක රටට කියන සිරස ඇතුළු මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් රාජ්‍ය මර්දනය හරහා නිහඬ කිරීමට පාලකයින් සූදානම් වෙමින් සිටියි.

සිය ගජ මිතුරු කල්ලිය සමඟ එක්ව සැනටයිසර් බෝතලයෙන්, ඇන්ටිජන් කට්ටලයෙන්, නිරෝධායනයෙන් ගසා කෑ මුග්ධ කල්ලියක් ඒ වංචා හෙළිදරව්වීමත් සමඟ වියරු වැටෙමින් සිටියි. අද ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගැනීම මේ වියරුවේ තවත් එක් පියවරකි.

මේ වියරුව පරාජය කිරීම සඳහා මේ රටේ යුක්තිගරුක පුරවැසියන් සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට බේධයකින් තොරව එක්වී ක්‍රියාකල යුතුව තිබේ.‍

ආණ්ඩුව මේ ගයමින් සිටින්නේ සිය දේශපාලන ගමනේ අවසානය කරා ගමන් කරන ශෝකී හංස ගීතයයි. මේ මුග්ධ පාලකයින්ගේ ඒකාධිපති වියරුව අනාගතයේ දිනෙක ජනතා අධිකරණයක් හමුවේ විනිශ්චයට ලක්වන බව ආණ්ඩු බලයෙන් යකා නටන සියලු දෙනා මතක තබාගත යුතුය.

අප මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ගෙන් සහ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වියරුවට දායක නොවී ඊට එරෙහිව ක්‍රියාකරන ලෙසයි.

– පාඨලී චම්පික රණවක –

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *