ජන ජීවිතය ආර්ථිකය අඩාල වෙන්න දෙන්න බෑ! තීන්දු තීරණ ගතයුත්තේ හැම පැත්තක්ම අධ්‍යයනය කරලා! – ජනපති

March 20, 2020 at 9:55 pm | by emanisa.lk

රට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපතිවරයාගේ අදහස බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සමාජ විරෝධී පුද්ගලයන් වත්මන් සෞඛ්‍ය ගැටළුව උපයෝගි කර ගනිමින් සමාජ මාධ්‍ය සහ කට කතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රජචාරය කිරීමෙහි නිරතව සිටින බවත් ‍ඔවුන්ගෙන් ඇතැමෙකු හඳුනාගෙන ඇති බවත්, එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එහි සඳහන් වෙයි.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීම සමඟ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉවහල්වන පියවර රැසක් ජනාධිපති රාජපක්ෂ විසින් හඳුන්වා දුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

පෙබරවාරි 26 දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය වු අතර එවැනි කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Covid 19 වෛරසය පාලනය සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ස්ථාපනය කළ කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරියේ අංක 1090 ස්ථානයේ සිට ක්‍රියාත්මක වෙයි.

මේ අතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය නතර කරනු පිණිස රජය තවත් ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දුන් අතර ඒ සඳහා ඉවහල්වන ප්‍රබල තීරණ දෙකක් අද ගනු ලැබීය.

පළමුවැන්න අද සවස 6.00 සිට 23, සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීම හා දෙවැන්න වෛරසයේ ව්‍යාප්තියට ඉඩ සලසන සියලු ආකාර චාරිකා නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීම බවද නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස