ජනාධිපති ව්‍යවස්ථාව කඩා වැඩිපුර ඇමැතිකම් 6ක් දීලා…! මුදල් ඇමති බැසිල් ඇමැතිකමින් පහ කරනු..! ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

November 20, 2021 at 7:16 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප‍්‍රමාණයට වඩා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනකු පත්කිරීමෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ඉංජිනේරු කපිල රේණුක පෙරේරා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 30 කට හා රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 කට සීමා කළ යුතු වුවත් ඒ අනුව කටයුතු නොකිරීමෙන් රටේ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට අසමත්වී ඇති බවට නිගමනය කරන ලෙසට ද නීතිඥ දර්ශන වේරගේ මගින් ගොනු කරන ලද එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

රටේ ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීමට බැඳී ඇතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම මගින් ඔහු එකී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ද පෙත්සම්කරු මෙම පෙත්සම මගින් අධිකරණයට කියා තිබිණි.

වර්තමාන මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 වාර්ෂික අයවැය යෝජනාවලට හා අදාළ ලේඛනවලට අවධානය යොමු කිරීමේදී රජයේ වාර්ෂික වියදම රුපියල් බිලියන 525 කින් ඉහළ ගොස් ඇති බවට පෙනී ගිය බව පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.

එලෙස වියදම ඉහළ යෑමට මූලික හේතුව වී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ප‍්‍රමාණය 30 ක්ව පැවැතිය ද මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්කිරීම නිසා බව ද එහි සඳහන් ය. නියමිත සීමාව ඉක්මවා තිබියදීත් නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන විෂය භාර අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කිරීම මෙන්ම චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය ඇමැතිවරුන් සිව්දෙනකු පත්කිරීම නිසා අමතර පිරිවැයක් වෙන්කිරීමට වන්නේ යැයිද පෙත්සම්කරු අධිකරණයට කියයි.

එබැවින් ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාට හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට එකී තනතුරවල කටයුතු කිරීම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස