ජනාධිපතිවරණයට පසු ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් ගහන්න සැලසුමක්!

August 21, 2019 at 9:22 am | by emanisa.lk

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීම එළඹෙන ජනාධිපතිවරණයේ දී ආණ්ඩුවට අවාසි සහගත ලෙස බලපෑ හැකි නිසා මෙම ගිවිසුම අත්සන් කිරීම කල්දැමූ බවට ඇතැම් පාර්ශව සැක පළ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස