ජනාධිපතිගේ තීන්දුව නිසා ගොවීන් කාබනික වගාව ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුවෙලා….! – අනුර..

June 18, 2021 at 7:28 pm | by emanisalk

ජනාධිපතිවරයා දුරදිග නොබලා ගත් තීන්දුව හේතුවෙන් රට පුරා ගොවියන් කාබනික ගොවිතැන ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

පසුගියදා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය නතර කිරීමේ ගැසට් නිවේදනය මැයි මාසේ 06 වැනිදා ප්‍රකාශයට පත්කළා. ඒ තුළින් සමාජය තුළ ආන්‍ෙදා්ලනයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ඒ තීන්දු-තීරණ විසින් රටට සිදුකෙරෙන බලපෑම පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිවිය යුතුයි. අපේ රටේ ශ්‍රම බළකායෙන් 27%කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැළෙන අතර එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 7%ක් පමණ වෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ 25%ක් පමණ කෘෂි නිෂ්පාදන පදනම් කරගත් කර්මාන්ත වශයෙන් රටේ ආර්ථිකයේ ප්‍රබල කොටසක් කෘෂිකර්මාන්තය නියෝජනය කරනවා. නමුත් ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට වගේම ගොවි ජනතාවටත් බරපතළ ගැටලු ඇතිවී තිබෙනවා. මේ තීන්දුව ගැනීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව, ගැටලුවලට විස¾දුම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බව පැහැදිලියි. මේ නිසා ගොවි ජනතාවත් කෘෂි කර්මාන්තයත් බරපතළ අනතුරක තිබෙනවා.

වී වගාව, එළවළු වගාව සහ පොල්, රබර් වැනි දීර්ඝ කාලීන වගාවන් ආදී ක්ෂේත්‍ර ගණනාවකට කෘෂි රසායන යෙදවුම් අවශ්‍ය වෙනවා. එයින් මූලිකම අවදානමක් කෙටි කාලීන එළවළු වගාවට ඇතිවී තිබෙනවා. වී, බෝංචි, අර්තාපල් සහ ගෝවා මාස දෙක තුනක් වගේ කෙටි කාලීන බෝග. ඒ නිසා නිසි කලට, නිසි පරිදි යෙදවුම් ලබාදිය යුතුව තිබෙනවා. අද නිසි කලට සුදුසු යෙදවුම් ලබාදීමට නොහැකි වී ගොවි ජනතාව බරපතළ ගැටලු ඇතිවී තිබෙනවා. කෙසෙල් වගාවත් මේ වගේම තර්ජනයකට ලක්වෙලා. ආණ්ඩුව රසායනික පොහොර නතර කරනවා නම් ඒ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කළ යුතුයි. නමුත් එසේ නොකිරීමෙන් වගාවන් විශාල විනාශයකට පත්වෙලා. ගොවි ජනතාව පොහොර ගබඩා වට කරනවා. විශාල දුක් අඳෝනාවන් ප්‍රකාශ වෙනවා. ගොවි ජනතාවට සුදුසු පොහොර ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුයි. ඒ වගේම වල් නාශක සහ කෘමි නාශක ප්‍රශ්නයත් ඉතාම බරපතළයි. 20% සිට 40% දක්වා ගොවියට වට්ටම් ලැබුණු කෘෂි රසායන අද ඉහළම මිලකට මිලදී ගන්න සිදුවෙලා. ආණ්ඩුව මේ තීන්දු ගැනීමේදී සියලු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු නොකර ක්‍රියාත්මක කළ බවයි පේන්න තියෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයේදී ගොවි ජනතාවට පොරොන්දු වුණේ පොහොර සහනාධාරය යටතේ රු.500ට ලබාදුන් පොහොර මිටිය නොමිලේ ලබාදෙන බවයි. ඔහු ප්‍රකාශ කළේ සියලු පොහොර වර්ග නොමිලේ ලබාදෙන බවක්. වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සියලු පොහොර නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ මොහොතෙත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ප්‍රකාශ කළේ පොහොර සහනාධාරය ලබාදෙමින් ක්‍රමානුකූලව කාබනික යෙදවුම් ප්‍රමුඛතාවට ගෙන දිරි ගන්වන බවයි. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවට පිටුපා පහුගිය අප්‍රේල් මාසයේදී රසායනික පොහොර තහනම් කිරීමෙන් වර්තමානයේ විශාල ගැටලුවක් ඇතිවී තිබෙනවා.

පක්ෂයක් හැටියට අපේ වැඩපිළිවෙළේ මූලික අරමුණු 3ක් තිබෙනවා. ආහාර සුරක්ෂිතභාවය එයින් මූලිකයි. එය ජාතික ආරක්ෂාවෙත් ප්‍රධානතම කොටසක්. ඊළඟට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීමයි. තුන්වැනිව ජනතාවට වස විසවලින් තොර ආහාර වේලක් ලබාදීම.

අපේ රටේ මහ පොළොව නිසරුභාවයට පත්ව තිබෙනවා. වස විසවලින් පිරිලා තිබෙනවා. මේ පස යළි නිරෝගී පසක් බවට පත්කළ යුතුයි. අපේ රටේ පුරවැසියන්ට ලබාදෙන ආහාර වේල වස විසවලින් තොර විය යුතුයි. ඒ වෙනුවෙන් දැක්මක් සහ සැලැස්මක් තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ජනතාවට වස විසවලින් තොර ආහාර වේලක් ලබාදීම සහ පස නිරෝගීභාවයට පත්කිරීම කියන සටන් පාඨයට මුවා වී මේ තීන්දුව අරන් තිබෙනවා.

එයින් මතුවෙන ගැටලු පිළිබඳව දැන් තමයි අවධානය යොමුකර තිබෙන්නේ. ආරම්භයේදී ජනාධිපතිවරයා කිව්වේ, කාබනික වගාවෙන් අඩු වන අස්වැන්නට මුදල් ලබාදෙන බවයි. එහෙම නම් ඒ තීරණයේ තවමත් ඔබ ඉන්නවාද කියලා දැනගන්න කැමැතියි. අඩු වන අස්වැන්න ගැන ඇස්තමේන්තුවක් තිබෙනවාද? ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට ඇස්තමේන්තුවක් හ¾දුනාගෙන තිබෙනවාද? මේ කිසිවක් නැතිව තීන්දුව ක්‍රියාත්මක කිරීමෙන් මතුවූ ගැටලුවලට අනුව ගොවි ජනතාවට සල්ලි ලබාදෙන බව ප්‍රකාශ කිරීම පැහැදිලියි. ඒ වගේම අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණවත් නොවේ නම් පිටරටින් ආනයනය කරන බව මෑතදී කීවා. ගම සමඟ පිළිසඳර වැඩසටහනකදී ඔහුගේ ප්‍රකාශය ගැසට් නිවේදනයන් බව කියා තිබෙනවා. ඒ නිසා ඔහු කරන ප්‍රකාශ අවසාන තීන්දුවක් වශයෙන් ඔහු හිතනවා විය යුතුයි.

මෙම තීන්දුව ගැනීමේදී තමන්ගේ සමීපතමයන් ලවා ලෝකයේ තිබෙන කුණු ගොඩවල් කාබනික පොහොර හැටියට ගෙන්වීමේ වුවමනාවෙන් ක්‍රියා කළාද කියන සැකය තිබෙනවා. කාබනික පොහොර ආනයනය කරනවා කියන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් එම සැකය තහවුරු වී තිබෙනවා. ඒ සඳහා තමන්ගේ සමීපතමයන් සමාගම් පිහිටුවීමට, බලපත්‍ර ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා. 1981 පනවපු ශාක ආරක්ෂණ පනත යටතේ කිසිම කාබනික පොහොරක් මේ රටට ගෙන එන්න බැහැ. දිරා යන සත්ත්ව සහ ශාක කොටස් එක්ක විවිධ රෝගකාරක එන්න පුළුවන්. මේ මහ පොළොවත්, ජීව පද්ධතියත්, ශාක පද්ධතියත් මේ තුළින් විශාල අනතුරකට මුහුණ දිය හැකියි. අපේ රටට කාබනික ද්‍රව්‍ය ආනයනය සඳහාත් එහි ගුණාත්මකභාවයන් සඳහාත් නීති-රීති පනවා නැහැ. පොහොර ගෙන එන්නේ නම් අවුරුදු 3ක තරම්වත් දීර්ඝ පර්යේෂණ සිදුකළ යුතු බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් සඳහන් කර තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේ මහ කන්නයට කාබනික පොහොර ගේන බව ප්‍රකාශ කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර වගාවට යෙදවීම පිළිබඳව අවශ්‍ය මූලික නිර්ණායකයන් තාම සකස් කර නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ කාබනික පොහොර ආනයනයෙන් විස, අහිතකර ජීවීන්, අහිතකර ශාක වර්ග, බැර ලෝහ වර්ග අපේ රටට පැමිණීමේ විශාල අනතුරක් තියෙනවා.

මේ නිසා අපි ජනාධිපතිවරයාට බල කරලා කියන්නේ දිගු කාලීන පරීක්ෂණ සැලැස්මක් සහ දිගු කාලීන තත්ත්ව පරීක්ෂාවේ සැලැස්මක් අනුව පමණක් කාබනික පොහොර ආනයනය කළ යුතු බවයි. එසේ නැතිව කඩිමුඩියේ ගෙන ඒමට කරන මේ ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව අවධාරණය කරනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය බීජ, ඉඩම්, ජලය යෙදවුම් තාක්ෂණය, ගබඩාකරණය හා අතුරු නිෂ්පාදනය වගේම ප්‍රවාහනය සහ සිල්ලර වෙළෙඳාම කියන ක්ෂේත්‍ර ගණනාවක ගැටලු තිබෙනවා. ඒ සියල්ල තිබියදී ජනාධිපතිවරයා පොහොර සම්බන්ධයෙන් පමණක් ගනු ලැබූ තීන්දුවේ බලපෑම් ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. එකක් ලෝකයේ තිබෙන බීජ මාෆියාව සම්බන්ධයෙන්. අපේ රට බීජ මාෆියාවේ ගොදුරු බවට පත්වී අවසන්. අපේ රටේ තිබුණු විවිධ බීජ ප්‍රභේද සියල්ල අපිට අහිමි වී අවසන්. ස්වදේශීය බීජ නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට තිබෙනවා. ඒ නිසා බහුජාතික සමාගම්වල බීජ මාෆියාවට යටත් වුණු වෙළෙඳපොළක් තිබෙන්නේ. අපේ රටේ තිබුණු බීජ සම්පත සම්පූර්ණයෙන්ම අහිමි වෙලා. අද ගෙන්වන බීජ සඳහා රසායනික පොහොර අවශ්‍යයි. අනෙකුත් රසායනික යෙදවුම්ද අවශ්‍යයි. මේ නිසා රසායනික පොහොර සහ යෙදවුම්වලින් ඉවත්වීමේ තීන්දුවක් ගන්නවා නම් කාබනික පොහොර සහ යෙදවුම්වලට ඔරොත්තු දෙන බීජ සම්බන්ධ සැලැස්මක් අවශ්‍යයි. මේ කාබනික යෙදවුම් සහ පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඊට අදාළ තාක්ෂණය එක් රැස් කරගන්නේ කොහොමද? ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළ කුමක්ද යන කිසිවක් කෙරෙහි ජනාධිපතිවරයා අවධානය යොමුකර නැහැ.

අපේ රටට 60-70 දශකවල ඉතාමත්ම හොඳ කෘෂි ව්‍යාප්ත සේවයක් තිබුණා. කෘෂි උපදේශක යාන්ත්‍රණයක් තිබුණා. දැන් එය මුළුමනින්ම කඩා වැටිලා. රූපවාහිනි දැන්වීම් සහ කඩේ මුදලාලි අදාළ කෘෂි රසායන ගැන ගොවි ජනතාවට කරුණු කියන්න පටන් ගත්තා. කෘෂි ව්‍යාප්ත සේවය බිඳ වැටීමෙන් ඒ උපදේශකයෝ බවට පත්වුණේ ව්‍යාපාරික සමාගම්. ඒ තුළින් මේ මහ පොළොව වස-විසවලින් පිරී ගොවි ජනතාවට ජීවත් වීමේ ආදායම් මාර්ග අහිමි වීමත් පාරිභෝගික ජනතාවට වස විසවලින් පිරි ආහාර ලැබීමත් සිදුවුණා. මෙයට විස¾දුම් වශයෙනුයි ජනාධිපතිවරයා කාබනික පොහොර සම්බන්ධයෙන් ක්ෂණික තීරණ ක්‍රියාත්මක කරන්නේ. මේ නිසා අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කර ගන්න පුළුවන්ද කියන ගැටලුවත්, ගොවි ජනතාව කෘෂි කර්මාන්තය අත්හැරීමට විශාල වශයෙන් පෙලඹවීමත් කියන මූලික ගැටලු දෙක මතුවී තිබෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් පලවා හැර ඒ ඉඩම් බහුජාතික සමාගම්වලට පවරා දීමේ සැලැස්මේ කොටසක් ලෙස ජනාධිපතිවරයා මේ ක්‍රියාමාර්ගය ගත්තාද කියන ප්‍රශ්නය මතුවෙනවා. අනෙක් පැත්තෙන් මේ දක්වා ස්වේච්ඡාවෙන් මැදිහත් වී කාබනික ගොවිතැන ප්‍රචලිත කළ විශාල පිරිසක් ඉන්නවා. එයට අපේ පක්ෂයත් ප්‍රබල දායකත්වයක් ලබා දෙමින් තිබෙනවා. ක්‍රමානුකූලව කාබනික ගොවිතැන පිළිබඳව සමාජයේ අවධානයත් යොමුවී තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ මේ තීරණයේ කාබනික ගොවිතැන මුළුමනින්ම ප්‍රතික්ෂේප වීමේ අනතුර අද තිබෙනවා.

මතුවිය හැකි ගැටලු පිළිබඳව විසඳුම් නැතිව එක එක වර්ගයේ කතා කීමෙන් පමණක් විසඳුම් සෙවීම නිසා කාබනික වගාව පිළිබඳව තිබූ සියලු අපේක්ෂා මේ ව්‍යාපෘතිය තුළින් අසාර්ථක වීමේ අනතුර තිබෙනවා. ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් මුළු කෘෂිකර්මාන්තයම කඩා වැටුණු බවට මතයක් ගොඩනැඟීමේ අනතුර තිබෙනවා. කාබනික ගොවිතැන සම්බන්ධයෙන් තිබුණු සියලු බලාපොරොත්තු ප්‍රතික්ෂේප වීමේ අනතුරක් තිබෙනවා. එළවළු වගාව, තේ වගාව, කෙසෙල් වගාව තුළින් එදිනෙදා ආදායම් ලැබූ සියල්ලන්ගේ ජීවන මාර්ග බිඳවැටී තිබෙනවා. නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් අෑත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම විස¾දුම් ලබාදිය යුතුයි. ඒ නිසා සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු පොහොර, සුදුසු වල් නාශක සහ සුදුසු කෘමි නාශක නිසි කලට ගොවි ජනතාවට ලබාදිය යුතුයි. මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවසේ තියෙන එළවළු කොටුව ගැන නෙවෙයි. ජීවනෝපාය බවට කෘෂිකර්මාන්තය පත්කරගත්, රටේ ආහාර සුරක්ෂිතභාවය නියෝජනය කරන සහ අපනයන සම්බන්ධයෙන් බලපාන ක්ෂේත්‍ර පිළිබඳව මතුවන ගැටලුවලට විවිධ පිළිතුරු සැපයීමට යෑමෙන් තව තවත් අර්බුද ඇතිවී තිබෙනවා. මේ තත්ත්වයන් කෙරෙහි වහාම පිළිතුරු ලබාදෙන ලෙස අපි ජනාධිපතිවරයාට බල කරනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
කසළ පොහොර ආනයනය සඳහා ආණ්ඩුව තීන්දුවක් ගෙන තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරීක්ෂණ සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දුවක් ගෙන තිබෙනවා. මේ සඳහා රාජ්‍යයන් කිහිපයකින් පොහොර ආනයනය කෙරෙනවා. නමුත් අපේ රටේ නිරෝධායන පනත අනුවත් ශාක ආරක්ෂණ පනත අනුවත් මේ ගෙන ඒමට කිසිදු ඉඩක් නැහැ. ජනාධිපතිවරයාගේ කාබනික වගාවන් සඳහා පිහිටුවා තිබෙන කමිටුවේ ව්‍යාපාරිකයන් ගණනාවක් නියෝජනය කරනවා. එම ජනාධිපති කාර්ය සාධක බළකායේ දිලිත් ජයවීරත් ඉන්නවා. ඒ වගේම කාබනික පොහොර ආනයනය කරන්නත් තීරණය කරනවා. කොරෝනා එනකොට ඇන්ටිජන් කිට් ආනයනය කරන්න, නිරෝධායන ව්‍යාපෘතිය එනකොට තමන්ගේ හෝටල්වලට ලබාගන්න ක්‍රියා කළේ කවුද? මධ්‍යම පාන්තික නිවාස ඉදි කරන්න ආණ්ඩුව තීරණය කරනකොට මෙතෙක් නොතිබුණු ඉදිකිරීම් සමාගමක් පිහිටුවලා ඒ කොන්ත්‍රාත්තුව ගත්තේ කවුද? ජනාධිපතිවරයා වටේ ඉන්න කණ්ඩායමක් ආණ්ඩුවේ සියලු ව්‍යාපෘතිවල වෙළෙඳ හවුල්කරුවන් බවට පත්වෙනවා.

විවිධ අපද්‍රව්‍ය සහිත නැව් මුහුදේදී අනතුරුවලට පත්වුණාම අප්‍රිකානු කලාපයේ දූෂිත පාලකයන් සමඟ එක්වී ඒ මුහුදු ප්‍රදේශවලට ගෙන ගොස් ගිල්වා දැමූ බවට වාර්තා පළවෙනවා. ලංකාවත් එසේ ගිල්වා දැමීමේ මුහුදු ප්‍රදේශයක් බවට කොමිස් සහ විවිධ දූෂිත ගනුදෙනු තුළින් පත්කළාද කියන සැකය මතුව තිබෙනවා. වරායවල් කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් තිබියදී ලංකාවේ වරායට පැමිණීමට අවසර ලබාදුන්නේ කවුද? ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේම වන්දි ලැබෙන බව කිව්වා. ඩොලර් හිඟයකින් පෙළෙන වෙලාවේ අපද්‍රව්‍ය සහිත නැව් ලංකා මුහුදේ ගිල්වීම ආදායමක් බවට පත්කරගෙන තිබෙනවාද දන්නේ නැහැ. මේ පිළිබඳවත් ඇමැතිවරුන් විවිධ ප්‍රකාශ කරනවා. නමුත් අවසානයේ අපේ සාගර පද්ධතියටත් ධීවර ජනතාවගේ ජීවනෝපායට විශාල බලපෑමක් සිදුවී තිබෙනවා. පාරිසරික හානි දශක ගණනාවක් යන තෙක් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවට මත පළ කරනවා. අපේ මුහුදු තීරයට ඇතුළත් වනවිට දුම් නැඟෙමින් තිබියදීත් එය මුළුමනින්ම විනාශ වන තුරුත් අපේ මුහුදු සීමාවෙන් පිටතට ගෙන නොගියේ ඇයි? ඒ නිසා නැව ගිලෙන්නේ ප්‍රශ්න සමුදායක් එක්ක. මේ ප්‍රශ්නයත් නැව ගිලී යෑමෙන් විසඳීමේ උත්සාහයක් ආණ්ඩුවට තිබෙනවාද කියන ප්‍රශ්න මතුවෙනවා. මේ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකර කරුණු රටට හෙළිකළ යුතුයි. ඊට වගකිව යුතු දේශපාලන නායකත්වයට, නිලධාරී යාන්ත්‍රණයට අනිවාර්යයෙන්ම නිසි දඬුවම් ලබාදිය යුතුයි. හැබැයි අපේ රට නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයක තිබෙන නිසා මෙය යටපත් වේ යන අදහසට වැඩිපුර ඉඩ තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අපේ රටෙන් ඉදිරිපත් කළ එන්නත්කරණ වැඩසටහනක් තිබෙනවා. ලෝකයේ බොහෝ රාජ්‍යයන් අනුගමනය කරමින් තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ වැඩපිළිවෙළවල්. හැබැයි අපේ රටේ කිලිටි, අප්‍රසන්න ආණ්ඩුවේ දේශපාලනය විසින් එන්නත්කරණයත් දේශපාලනීකරණය වී තිබෙනවා. ඒ නිසා අද තිබෙන්නේ වැක්සීන් පොලිටික්ස්. සමෘද්ධිය ලබාදීමේදී වගේ, ගමට පාරක් ලබා දීමේදී වගේ පාසලට දරුවෙක් ඇතුළත් කිරීමේදී වගේ මිනිස්සුන්ගේ ජීවිතත් සමඟ ගැටගැසී තිබෙන එන්නත්කරණයත් දේශපාලනයට ගැට ගසා තිබෙනවා. ඇමැතිවරු, නගරාධිපතිවරු ප්‍රසිද්ධියේ චිට් ලබාදෙනවා. ප්‍රසිද්ධියේ බැනර් ප්‍රදර්ශනය කරනවා. එන්නත කියන්නේ මේ රටේ පුරවැසියන්ගේ අයිතියක්. ඒ එන්නත නිසි පරිදි නිසි වේගයෙන් විශ්වාසවන්තව ලබා නොදීම පිළිබඳව ආණ්ඩුවට විවේචනයක් තිබෙනවා. ඒ නිසා බැනර් දාන්න ඕනෑ ආණ්ඩුවට විරුද්ධවයි. එන්නත්කරණය පිළිබඳව සමහර රාජ්‍යයන්ට වඩා වැඩි මුදලට ගැනීම පිළිබඳව හෙළිවී තිබෙනවා. අන්න ඒ පාලකයන්ට විරුද්ධවයි බැනර් දාන්න ඕනෑ. හැබැයි අපේ රටේ දේශපාලකයන් එන්නත් ලබාදුන් බවට බැනර් දානවා. මේ නායකයන් මොන තරම් කැත, අප්‍රසන්න පාලකයන්ද කියලා එන්නත්කරණ වැඩසටහන තුළින්ද පැහැදිලි වෙනවා.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස