ජනපති ගෙදර යන්න හිත හදා ගත යුතුයි…! – පොහොට්ටු මන්ත්‍රී පිරිසක් සමග පාඨලී මාධ්‍ය හමුවක…

June 15, 2022 at 3:43 pm | by emanisa.lk

ජනාධිපතිවරයා දැන් බලය අත්හැරීමට හිත හදාගත යුතු බවත්, බලපොරය නිසා පමාවෙමින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 21 වන සංශෝධනය තවත් පමා නොකර කඩිනමින් සම්මත කරගත යුතු බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

පැවති ජනතා විරෝධය යටපත් වී ඇතැයි ආණ්ඩුව සිතනවා නම් එය වරදක් බව කී මන්ත්‍රීවරයා 21 වන සංශෝධනය පමාවීමෙන් ආණ්ඩුව මෙන්ම රටම අස්ථාවර වනු ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා වටා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන් එය පමා කරමින් කරන්නේ වරදක් බව කී පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්වී එය ඉක්මන් කළ යුතු බව ද කීවේය.

පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව කොළඹ දී අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ මස අග මෙරටට පැමිණීමට නියමිත අතර, ජුලි මුල පමණ ඔවුන් සමග මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමේදී පවතින ආණ්ඩුව කුමක්ද, ඔවුන් දෙන මාර්ග සිතියම ක්‍රියාත්මක කළ හැකිද යන විශ්වාසය ලබාදිය යුතු බව කී හිටපු අමාත්‍ය රණවක, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පරිදි චීනය, ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු මිතුරු රටවල ආධාර සමුළුවක් පවත්වන්නේ නම් රට තුළ ප්‍රජාතාන්ත්‍රික පාලනයක් ඇති බවත්, නිදහස් පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන බවත් පෙන්විය යුතු බව ද කීවේය.

ජාත්‍යන්තර උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඊට අනුරූපව අපේ ප්‍රතිරූපයත් සකසා ගත යුතු බව කී මන්ත්‍රීවරයා තුන් හතර දෙනෙක් එක්වී ආර්ථිකය ගෙන යා හැකි බව සිතනවා නම් එය ලොකු මුලාවක් බව පැවසීය. පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *