ජනපතිවරණයට පෙර ඇමරිකාව තවත් කලබැගෑනියකට සැරසෙයි! මේ උගුලට ජනතාව හසු වුණොත් රටම සොහොන් පිටියක් වීම වළක්වන්න බෑ!!

August 7, 2019 at 4:50 pm | by emanisa.lk

(“ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු!” යන තේමාව යටතේ STOP USA – සංවිධානය විසින් අගෝස්තු 04 වන දින මහනුවරදී පැවැත්වූ සම්මන්ත්‍රණය හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ දේශනය.)

ඇමරිකාවේ සැබෑ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ දිනවල අමෙරිකානු තානාපති තුමිය කඩියකුටත්වඩා කඩිසරයි. මහනුවරට එනව, මහනායක හිමිවරුන් බැහැ දකිනවා. නැගෙනහිරට යනවා, මහා දැවැන්ත ශාලාවක් විවෘත කරනවා. ගාල්ලට දුවනවා රාජ්‍ය නොවන සංවිධානවලට වැඩමුළු කරනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා අදහස් දක්වනවා. මැති ඇමතිවරු නිරන්තරයෙන්ම හමු වෙනවා. එතුමියගේ කල්ක්‍රියාව දකිද්දි අපට මතක් වන්නේ 1980 දශකයේ ලංකාවේ සිටිය ඉන්දියානු තානාපති ජේ ඒ ඩික්සිත් මහතාවයි. ඒ කාලේ අපට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ රට පාලනය කරන්නේ ජනපති ජයවර්ධනද නැතිනම් මේ ඩික්සිත් මහත්තයා ද කියලා. අදත් අපිට ඔය ප්‍රශ්නය මතුවෙනවා. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රී-රනිල් ජෝඩුවද එහෙමත් නැතිනම් ඇමරිකානු තානාපතිවරිය ද කියල හිතෙන මට්ටමට එතුමිය අද මෙරට පාලනයට ඇඟිලි ගහලා තියෙනවා. පාලනයට ඇඟිලි ගහලා විතරක් නිකන් ඉන්නේ නැහැ අනාගතයේ බිහි වන අප ආණ්ඩුවට ද අනතුරු අඟවනවා. පුංචි තර්ජනයකුත් කරනවා මේ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අනාගත ආණ්ඩු බැඳිලා ඉන්නවා කියලා. තර්ජනයෙන් පස්සෙ නම් ලඟදි පෙම්හසුනක් එවලා තිබුණා. එහිදී කියනවා අපි මේ මිලියන 480 දෙන්නේ ණයක් නොව ප්‍රධානයක් විදිහටයි. ඔය ගොල්ලන්ගේ මහලොකු යාලුවෝ කියන අය ණය නේද දුන්නෙ. අපි එහෙම ණය උගුල්වල හිර කරන්නේ නැහැ. ආදරයෙන් දෙන දේටත් ඔහොම කියන එක නරකයි නේද කියලා අහල තිබුනා.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය කියන්නේ dollar for dollar. තමන්ට වාසියක් නැති නම් එක ඩොලරයක් වත් වැය කරන්නේ නැහැ. ඇමරිකාව මිලියන 480ක තෑග්ගක් දෙන්නෙ ට්‍රෝජන් අශ්වයකු ලෙසයි. මේ මුදලින් ඔවුන් උත්සාහ කරන්නේ ඇමරිකානු ආර්ථික කොරිඩෝවට අදාළ ඉඩම් ටික නිදහස් කරගන්නත් එහි ප්‍රවාහන සහ යටිතල පහසුකම් සැදීමටත් පමණයි. මෙය ඇමරිකාව ඇමරිකාව වෙනුවෙන්ම කරන ආයෝජනයක් මිස ලංකාවේ ජනතාවට මින් සතපහක ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඇමරිකානු තානාපති තුමිය ඔය ඩොලර් මිලියන 480 ම අකුලාගෙන ගිහිල්ලා අපේ පාඩුවේ අපේ දුප්පත්කමේ අපිට ගිලිලා ඉන්න ඉඩ දුන්නත් අප නම් ඇමෙරිකාව සමග තරහ වන්නේ නැහැ.

රටවල් වැනසූ අමෙරිකානු උපාය

අද මේ ඇමරිකාව ලංකාව තුළට රිංග ගන්න හදන උත්සාහය ගැන අපූරු පොතක් තියෙනවා. නයෝමි ක්ලේන් කියන කැනේඩියානු ගත් කතුවරිය ලියලා තියනවා The Shock Doctrine කියලා පොතක්. මේ පොතේ කියලා තියෙනවා කොහේ හෝ රටක යම් ප්‍රශ්නයක් තියෙද්දී එම රටට අප රිංගාගත යුතු රටක් යැයි ඇමරිකාව තීරණය කර තිබෙනවා නම් රටට උදව් කරන්න යැයි කියමින් එම රට තුළට රිංගා ගන්නවා. රටකට සිදුවන ස්වභාවික වියසන යනාදිය මේ සඳහා ඔවුන් ඉවහල් කර ගන්නවා. වියසනයක් නොමැතිනම් වියසනයක් හදලා එම වියසනය විසඳන්න ඔන්න රිංග ගන්නවා.

මේ සඳහා අප හොද උදාහරණ ටිකක් කියෙනවා. මේ අයට අවශ්‍ය වුනා ඉන්දුනීසියාවෙන් කෑල්ලක් කඩල නැගෙනහිර තිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න. සෝරෝස් කියන ප්‍රධාන ආයෝජකයා ඇතුළු ඇමරිකානු ආයෝජකයන්ට උපදෙස් දුන්නා ඉන්දුනීසියාවෙන් එළියට යන්න. ඔවුන් ආයෝජන අරන් ඉවතට යද්දී ඉන්දුනීසියාවේ ආර්ථිකය කඩා වැටුනා. උදෑසන බස් රථයෙන් ගමන් කරද්දී තිබුණු බස් ගාස්තුව නෙවෙයි ආපසු ගෙදර එද්දි බස් ගාස්තුව දෙගුණයක් වෙලා. ඒ විදිහට ජනතාවට කන්න නැති තරම් වට්ටලා රටේ ආර්ථිකය ගොඩනගන්න කියලා ඇවිල්ලා මේ අය නැගෙනහිර ටිමෝරයට නිදහස දෙන සැලැස්ම ක්‍රියාත්මක කළා. 2001දී ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු හමුදා ගියේ එරට තුළ ඔසාමා බිල්ලාඩන් සැඟවී සිටින බව කියමින්. නමුත් එරටින් අල්ලාගත් බිල්ලාඩන් කෙනෙක් නම් නැහැ. නමුත් එවකට ඇමෙරිකාවේ ජනපති ජෝර්ජ් බුෂ්ගේ පුද්ගලික සමාගමකට ඇෆ්ගනිස්ථානය හරහාත් තෙල් නල එළීමට එරට රජය ඉඩ දුන්නේ නැහැ. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔවුන් ඒ වැඩේනම් කරගත්තා. 2003දී ඉරාකයට රිංගගත්ත ඉරාකයේ සමූලඝාතන අවි තියෙනවා කියලා. අද වන තුරුත් ඉරාකයෙන් අල්ලාගත් සමූලඝාතන අවියක් නම් නැහැ. ඒ රටේ තිබූ සරුසාර තෙල් ළිං සමූහයම මේ වන විට ඇමෙරිකානු සමාගම් විසින් අල්ලා ගෙන තියෙනවා. එනිසා හේතු හදාගෙන රටකට රිංගන්න ඇමරිකාව හරිම දක්ෂයි කියන එක පේනවා.

ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක්

ඇමරිකාවේ පළමුවෙනි උත්සාහය වුණේ සහරාන්ගේ බෝම්බය පත්තු කරලා සිංහල මිනිහා ලවා මුස්ලිම් මිනිහට ගහලා කලබැගෑනියක් ඇති කරලා එම කලබැගෑනිය විසඳීම සඳහා රට අස්සට රිංගා ගැනීමයි. ඇමරිකානු හමුදාව ගෙනල්ලා උතුරු මුහුදේ නැව් පිටින් නතර කරගෙන හිටියා. හැබැයි අපි ගැහුවෙ නැහැ. ඇමරිකාව අමාරුවේ වැටුනා. මුන්ට මෙච්චර දෙයක් කරලත් ගහන්න බැරිද යකෝ කියලා හිතලා ගහන විදිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න හලාවතදී මුස්ලිම්වරුන්ට ගැහුවා. කුලියපිටියෙ දී ගැහුවා මිනුවන්ගොඩදී ගැහුවා. ඒත් අපි ගැහුවෙ නැහැ. දැන් මොවුන්ට හරි ප්‍රශ්නයක් සිංහල මිනිසුන් කුපිත කරවන්නේ කොහොමද කියලා. එනිසා ජනපතිවරණයෙන් පරාජය අරගෙන මේ ගිවිසුම් හකුළා ගෙන යන්න ඇමරිකාව සූදානම් නැහැ. ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක් ඇමරිකාව ඇතිකරනවා ඇති කරනවාමයි. එයට සූදානමින් ඉන්නේ අප අනතුරු අඟවනවා.

ලංකාව තුළට පිවිසීමට ඇමරිකාවට අවශ්‍ය ඇයි ?

ඇයි මේ ඇමරිකාව ලංකාව අස්සට රිංග ගන්න මෙතරම් ම උත්සාහ දරන්නේ. සමහරුනම් අපට කියන්නේ අප ළිං මැඩියන් කියලයි. ලංකාව හරි ලොකු රටක් කියලා අප හිතන් ඉන්නවා ලු. ඇමරිකාවේ ජනාධිපති ලංකාව තියෙනවද කියලවත් දන්නේ නැතිලු. අපි ලිං මැඩියෝ යැයි කියන උන්ට අප කියනවා යකුනේ අප නොව නුඹලයි ලිං මැඩියෝ. ලංකාව මේ ලෝකෙ වැදගත්ම රට කියලා කියන්නේ අප නොව ඇමරිකාවමයි. හේතු 4ක් තියෙනවා ඇමරිකාවට ලංකාව තුලට රිංගා ගන්නට.

2010 දී ඇමෙරිකානු යුධ විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් පොතක් ලියනවා මොන්සූන් කියලා. එම පොතේ කියනවා මේ සියවස ආසියාවේ සියවසයි. ලෝකයේ බලය අල්ලා ගනු ලබන්නේ ආසියාවයි. මේ සියවසයේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරේ වැදගත්ම රට එහි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. මෙම සියවසේ ලොව වැදගත්ම රට අන් කවරක්වත් නොව රට ශ්‍රී ලංකාවයි කියලා.

2009 දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳ පොතක් නිකුත් කරනවා. එහි ඇමරිකානු ආණ්ඩුවට කියනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න දාගෙන ලංකා ආණ්ඩුවත් සමග හැප්පිලා ලංකාව තරහ කරගන්න එපා. මන්ද ලංකාව ආසියාවේ හරිමැද පිහිටි ඉන්දියානු සාගරයේ වැදගත්ම රටයි කියලා.

1965දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධාන කදවුර පිහිටුවා ගන්නේ දියේගො ගර්ෂියා දූපත් සමූහයේ. මෙම දුපත් සමූහය එදා මුරුසියට අයත්ව තිබුණා. එදා මුරුසිය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් මෙම දුපත් සමූහය ඉවත් කරළා ඇමරිකාවට බදු දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළා. 1968 මුරුසියට නිදහස ලැබෙන්නේ ඉන් අනතුරුවයි. මුරුසිය එදා ඉඳන්ම උත්සාහ කළේ මේ තමන්ට අයත් ව තිබූ දූපත් සමූහය යළි තමන්ට අත්පත් කරගන්නට. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි මාසයේ තීන්දුවෙන් කියනවා දියේගො ගර්ෂියා දූපත් සමූහය මුරුසියට යළි භාර දෙන තුරු මුරුසිය ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන් විට ඇමෙරිකාවට කඳවුරු අකුලාගෙන යන්න වෙනව. මේ අකුලාගෙන යන කඳවුරු ස්ථාපිත කිරීමට සුදුසුම තැන ලංකාවයි. දියේගො ගර්ෂියාවට උඩින් තිබෙන්නේ මාලදිවයින. මාලදිවයිනට උඩින් තිබෙන්නේ ශ්‍රී ලංකාව. එමනිසා දියේගො ගර්ෂියාවේ සිට පහසුවෙන්ම පැමිණිය හැකි තැන ලෙසට ඔවුන් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම සියවසේ ලෝකයේ නැගී එන ලෝක බලවතුන් වන්නේ ඉන්දියාව සහ චීනයයි. ලංකාව තියෙන්නේ ඉන්දියාවට කිලෝමීටර් තිස් දෙකක් නොදුරින්. අනෙක් පසින් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වීමෙන් ඇමරිකාවට චීනය හා ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකියි.

පසුගිය කාලේ තායිලන්තය සමඟ චීනය සාකච්ඡා කළා ක්‍රා කියන ඇළ මාර්ගය කපන්න. චීනයට එන තෙල්ද ඇතුළු සැපයුම් වලින් සියයට අසූවක්ම එන්නෙ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයත් වන්නේ ඉන්දුනීසියාව සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් වලටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කෙදිනක හෝ මෙම රටවල් කිව්වොත් අපේ මුහුද හරහා ඔබේ නැව් වලට යන්න තහනම් කියලා චීනයට, එවිට චීනය කන්න නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. චීනයට තියන මෙම භීතියට ජාත්‍යන්තර ආරක්ෂක අංශ කියන්නේ මලක්කා දෙගිඩියාව කියලයි. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් වශයෙන් තායිලන්තය හරහා ඇළ මාර්ගයක් කපනවා. චීනයට ඇති මුහුදු ගමන් මාර්ගයේ දුරත් එවිට කිලෝමීටර් 1200කින් පමණ අඩු වෙනවා. මේ මාර්ගය කැපුවාට පස්සේ සිංගප්පූරු වරාය මගහැරලා හම්බන්තොට වරාය කිට්ටුවෙන් මෙම මුහුදු මාර්ගය වැටෙන්නේ. එවිට ආසියාවේ සාගර කේන්ද්‍රය විදිහට නාවික කේන්ද්‍රය විදිහට අද සිංගප්පූරු වරායට හිමිතැන අනාගතයේදී හිමිවන්නේ හම්බන්තොට වරායටයි. එහෙම නම් චීනාගේ බලය කඩන්නට චීනගෙ මරමස්ථාන බවට පත්වීමට නියමිත ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරු දා ගත යුතුයි.

සැබෑ ළිං මැඬියන් කවුරුන්ද?

මෙන්න මේ කාරණා හතර නිසයි ඇමරිකාවට ලංකාව වැදගත් වෙලා තියෙන්නේ. මේ සිය වශයෙන් ලෝකයේ වැදගත්ම රට ලංකාවයි කියලා කියන්නේ අප නොව ඇමෙරිකානු ආණ්ඩුවමයි. ඒ සඳහා ලේඛන දෙකක් මා උදාහරණ වශයෙන් දැක්වූවා. ඒ නිසා අප ළිං මැඩියන් ලෙසින් බොරුවට බය වෙලා දඟලනවා යැයි කියන අයට අපට කියන්නට වෙන්නේ මේ පොත පත කියවා ලෝකේ සිදුවන්නේ කුමක්දැයි ඉගෙන ගන්න කියලයි.

ඇමරිකානු හමුදාවට අප බය ඇයි ?

ඇමරිකානු හමුදා එනවාට අප බය ඇයි. ඇමරිකානු හමුදාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එම හමුදාව ඇතුලේ තියෙන ලිංගික අතවර. තමන්ගේ සහෝදර සෙබළුන්ට සෙබළියන්ට ඇමරිකානු හමුදා භටයන් අතින් සිදුවන ලිංගික අතවර. ලිංගික අතවර පාලනය කිරීම සඳහා මේ පිළිබඳ වාර්තාවක් දෙවසරකට වරක් ප්‍රසිද්ධ කරන්න යැයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළා. 2018 තමයි අවසන් වාර්තාව ආවේ. 2018 වසර තුළදී පමණක් හමුදාවේ 20 500 ක් සෙබල සෙබළියන්ට තවත් අයුරකින් කියනවා නම් සෙබළියන් 13 000ට සෙබළුන් 7 500ට අනෙකුත් සහෝදර සෙබළුන්ගෙන් ලිංගික අතවර සිදුවෙලා තිබෙනවා. ඇමරිකානු හමුදාවේ සෑම සෙබළියන් දහ දෙනකුගෙන්ම එක් කෙනෙක් 2018 වර්ෂයේ දී ලිංගික අතවරයට ගොදුරු වී තිබෙනවා. මේ සෙබළිය යුධ පුහුණුව ලත් ආත්මාරක්ෂක සටන් ක්‍රම දන්න හැඩි දැඩි සෙබළියන්. එවැනි සෙබළියන්ගේ ඉරණමත් මෙය නම් අහිංසක අපේ දියණියන්ගේ ඉරණම කෙසේ වේවිදැයි අපට සිතා ගන්නට සිදු වෙනවා.

2016 වසර හා බලද්දී 2018 වන විට ලිංගික අතවර කිරීම් 25% වැඩිවෙලා තිබෙනවා. දිනෙන් දින පිරිහෙන ම්ලේච්ඡ හමුදාවක් තමයි ශ්‍රී ලංකාවට ගොඩ බස්සවන්න හදන්නේ. මේ ම්ලේච්ඡ හමුදාවේ හිරිහැර වලට ගොදුරු වන ආසියානු රටවල් තුනක් තියෙනවා. ඒ තමයි දැනටමත් සෝෆා ගිවිසුම් අත්සන් කරලා ඇමෙරිකානු හමුදා ගොඩබස්වා ගෙන සිටින ඉරාකය දකුණු කොරියාව සහ ජපානය. ජපානයේ ලොකුම ඇමෙරිකානු හමුදා කදවුර තියෙන්නෙ ඔකිනාවා වලයි. මේ වන විට ඇමරිකානු හමුදා අතින් ඔකිනාවා වැසියන් 29 දෙනකු ඝාතනය වී තියෙනවා. හතළිස් හත් දෙනකු දූෂණය වී තිබෙනවා. මංකොල්ලකෑම 368 සිදුවෙලා තියෙනවා. පහරදීම් එක්දහස් හයසියයක් සිදුවෙලා තියෙනවා. බලවත් ජපානය තුළයි මේවා සිද්ධ වෙන්නේ.

2002 දී දොළොස් ඇවිරිදි පාසල් දැරියක් ඔකිනාවා හිදී පාසල ඇරී ගෙදර එන විට වාහනයකින් ඇවිත් පැහැරගන්නවා. එම රථයේ සිටියේ ඇමෙරිකානු භටයන් තිදෙනෙක්. ඔවුන් එම දැරිය වෙරළට රැගෙන ගිහිල්ලා සිහිසුන් වන තුරා දූෂණය කරනවා. සිහිසුන් ඇය මියගියා යැයි සිතා අතහැර දමා යනවා. පසුව සිහිය ලබන ඇය රෝහල්ගත කරනවා. ඇය හඬමින් ඇයට සිදුවූ සියල්ල හෙළි කරනවා. මුළු ජපානය ම එකම හඬින් කියනවා ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ජපන් ආණ්ඩුව ද එයට එකඟ වෙනවා. නමුත් ඇමරිකාව එයට බැහැ කියනවා. සෝෆා ගිවිසුම වෙනස් කරන්නට ජපානය යෝජනා කරනවා. ඇමරිකාව බැහැයි කියනවා. ලොව දෙවෙනියට විශාලම ආර්ථිකය සහිත ජපානයේ ඉරණම එය නම් මේ පුංචි දුප්පත් ලංකාව ගහන ගිවිසුම අනාගතයේ කිසිදිනක වෙනස් කරගන්නට හැකි වන්නේ නැහැ.

එමෙන්ම ඔකිනාවා හි මත්පැන් හලකදී කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳ නඩුවක් ඇමරිකානු සෙබළෙකුට පැවරෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත් වී එම නඩුවේ සියලු සාක්ෂිකරුවන් බියගන්වා නැතිනම් මුදල් දී මිලදී අරගෙන මෙම සෙබලා නිදහස් කරගැනීමට කටයුතු කරනවා.

මව්බිම වෙනුවෙන් අමරිකානු මහ කළුගලේ හිස ගසා ගත්තෙමු

ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට පැමිනියහොත් ඉතාම භයානක තත්වයක් තමයි සිදුවන්නේ. අපට ඇමරිකානු හමුදා ගොඩ බැස්සට පස්සේ හරවා යවන්නට බැහැ. නමුත් ඔබ මතක තියාගන්න අපේ මේ ඇමෙරිකානු සටන සුබවාදී ලකුණු පෙන්වන සටනක්. ඇමරිකානු රජයේ වුවමනාවට තමයි අපේ ඉඩම් අයිතිය ගොවීන්ට දීලා එම ඉඩම් ඇමරිකානු සමාගම් ගොවීන්ගෙන් වැඩි මිලට මිලදී ගැනීමේ පළමු පියවර විදිහට ඉඩම් අයිතිය ගොවීන්ට ලබාදෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ පනත ගෙන ආවේ රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ලෙසට. කළුගලේ හැප්පුනාම ඔලුව පැලෙනවා මිසක ගල පුපුරන්නේ නැහැ කියලයි අප අහල තිබුනෙ. ඇමරිකාව මහ කළු ගලක් ලෙසින් පෙනුනත් අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙය අභියෝගයට ලක් කළා. අපේ තර්ක පිළිඅරගෙන මේ පනත් කෙටුම්පත අත්හිටුවන්නට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රමය වැරදි බව තීරණය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. මිත්‍රවරුණි ඇමරිකානු විරෝධී අපේ අරගලය කුලුඳුල් ජයග්‍රහණය වාර්තා කරලා ඉවරයි.

ඒ නිසා අපේ පුංචි දියණියන් ඇමෙරිකානු හමුදා අතින් කිලිටි වෙන මියෙන පොඩිවෙන මල් කැකුළු බවට පත්වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් මේ රටේ පාලකයා අප නොව ඇමරිකාව විසින් තීරණය කරන යුගයක් උදා වීම වළක්වා ගන්නට අවශ්‍ය නම් අප මුතුන් මිත්තන් අපට ලබාදුන් උරුමය ඊළඟ පරම්පරාවට ද භාර දීමට අවශ්‍ය නම් අප මේ ඇමරිකානු ආක්‍රමණය නතර කළ යුතුයි විතරක් නොවෙයි අපට නතර කිරීමටද හැකි කියන එක අප ඉතාම විශ්වාසයෙන් කියනවා.

Stop USA නමින් ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව අප විසින් ගොඩනගා ඇති මේ සංවිධානය වටා ඒකරාශී වී අපේ ආදරණීය මව්බිම බේරා ගැනීමට අප හා එකතුවන්න තමුන්නාන්සේලා සියලු දෙනාට මා ආරාධනා කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස