ජනතාව වගේම හමුදාවත් වෛරසයෙන් ආරක්ෂා කරගත යුතුයි! ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය රකින්න ජනාධිපති බළකායක්!

April 28, 2020 at 9:02 am | by emanisa.lk

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (27) පත් කළේය.

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹිණි.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ කාර්යය නව ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී තිබේ.

ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආසාදිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතු බව පැවසීය.

රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතු බවත් ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම බවත් ජනාධිපති රාජපක්ෂ පැවසීය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ජනාධිපතිවරයා විශේෂඥ කණ්ඩායමට උපදෙස් දුන්නේය.

නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වය දිය යුතුය. කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නියෝග කළේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස