ජනතාව රැවටිලා පාර්ලිමේන්තුවට පත්කළ මී හරක් මහා සඟරුවනටත් අනින්න පනිනවා! – මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමි

April 13, 2019 at 6:52 pm | by admin

සමේ වර්ණයයි, පිං පෙනුමයි සලකලා හැඩ රුව ඇති පිරිසකට ඡන්දය දීලා අද අප අමාරුවේ වැටිලා තියෙනවා. සමේ පාටෙන් පිටස්තර පෙනුමෙන් මිනිසුන් තේරුම් ගන්න අපට නොහැකියි. පිං පෙනුමට සමේ පාටට ඡන්දය දීලා පත්කළ මී හරක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එළදෙනුත් ඉන්නවා. උන් උන් ඇන ගන්නවා. අපටත් අනින්න හදනවා යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ විශ‍්‍රාමලත් මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමියෝ කැලණිය කොහල්විලදී ප‍්‍රකාශ කළහ.

කැලණිය කොහල්විල ශ‍්‍රී ගංගාරාම පුරාණ මහා විහාරයේ සියවස් සැමරුම නිමිත්තෙන් එයට සමාන්තරව එම විහාරවාසී පූජ්‍ය පරවාහැර වජිරරතන හිමියන් විසින් රචිත ‘පියෙවි සිහිය’ කාව්‍යමය ධර්ම ග‍්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් පැවැති උළෙලේදී උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ සඳහන් කළහ.

සමේ පාටයි, පිට පෙනුමයි හොඳ නම් පමණක් බණ අහන, ධර්ම දේශනාවන් ශ‍්‍රවණය කරන සැදැහැවතුන් අද සමාජය තුළ බිහිවී ඇතැයි පැවසූ මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමිපාණන්, අද පත්තරවල සති අන්තයේ පිටු ගණන් තියෙනවා මංගල දැන්වීම් පළකරලා. මනාලයන්, මනාලියන් ගැන විස්තර පළ කරලා තියෙනවා. ඒවායේ වැඩියෙන්ම සඳහන් වන්නේ සමේ පාටයි, පිට පෙනුමයි, කඩවසම් හා පැහැපත් කම ගැනයි. ගමනට, බිමනට, ඇඳුමට, බැල්මට අපේ මිනිසුන් රැවටෙනවා. දුෂ්ට, නපුරු, අසමජ්ජාති, පල් හොරුන්, නොහොඹිනා පුද්ගලයන් සිල් රෙදි පොරවා ගන්නවා. සාර්ථක කවියෙක් වීමට නම් ප‍්‍රතිභාව ඕනෑමයි. පොත පතේ දැනුම වගේම අත්දැකීම්වලින් පරිපූර්ණව නිර්මාණය වූවොත් පමණයි හොඳ කවියෙක් වෙන්නට හැකි වෙන්නේ. කවියෙක් බණ කීම අලුත් දේවල් නොවෙයි. එයට අවුරුදු දහසකට වඩා ඉතිහාසයක් තිබෙනවා. වෙද පොත් කවියෙන් නිර්මාණයවී තිබුණා. බුදුගුණ කවියෙන් ගැයුණා. කවිය සිංහල ජන ජීවිතයත් සමග ගසට පොත්ත මෙන් බද්ධ වී තිබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස