ජනතාව ගොවිතැනින් ඈත්වන හේතුවලට නියම විසඳුම් ලබා දෙනවා! ආහාර සුරක්ෂිතතාව සඳහා රට ආහාරින් ස්වයංපෝෂිත කරනවා! – ගෝඨා

September 30, 2019 at 10:05 am | by emanisa.lk

කෘෂි කර්මාන්තයට මුල්තැන ලබා දෙමින් ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමට තම රජයක් යටතේ අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සහතික වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

“අපි මූලිකව කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. ඒ තුළ ගොවියා ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. අපේ ආර්ථිකය කෘෂිකර්මාන්තය මතයි රඳා පවතින්නේ. ඒ නිසා අපිට කෘෂිකර්මාන්තය අත හැර දමන්න බැහැ. ලෝකය පුරා ආහාර සුරක්‍ෂිතාවය වැදගත් වෙලා තිබෙනවා. රටක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වෙන්න ඒ නිසාම අවශ්‍ය වෙනවා. අපි වෙනත් රටවල් මත යැපෙන්න අවශ්‍ය නැහැ. අපි අපිම ආහාරවලින් ස්වයං පෝෂිත වෙන්න ඕනේ.

ගොවි මහත්වරුන්ගේ ඉදිරි පරම්පරාව ගොවිතැනින් ඉවත් වෙන්නේ ගොවීන් දුක්ගැහැටවලට මුහුණ දෙන ආකාරය දැක තිබෙන නිසයි. ගොවි පවුල්වල ආදායම ඉහළට ගෙන ඒම වඩා වැදගත් වෙනවා. කාෂිකර්මාන්තයට නවීන තාක්‍ෂණය හඳුන්වා දීමෙන් ඔබේ කර්මාන්තයට වැඩි අගයක් එකතුකිරීම මගින් වැඩි ආදායමක් ලබාදීමේ හැකියාව තිබෙනවා.

ඔබේ අස්වැන්න වෙළෙඳපළට එන කාලයේදී නිසි ක‍්‍රමවේද භාවිත කළ යුතුයි. ඇසුරුම් ක‍්‍රම, වෙළෙඳපළට ප‍්‍රවාහනය කරන ක‍්‍රම, ශීතකරණ ක‍්‍රම, ටින් කිරීමේ ක‍්‍රම මගින් ගොවියාට වැඩි මිලක් ලබා දීමේ හැකියාව අපිට තිබෙනවා. ග‍්‍රීන් හවුස් වැනි වසර පුරා කෘෂිකර්මාන්තයේ යෙදිය හැකි ක‍්‍රමවේද රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව පවත්වා ගෙන යාමට ගොවියාට පහසුකම් දිය යුතුයි.

අපි මිරිස්වලින් 100% ස්වයං පෝෂිත වෙලා හිටියත් අද 100% ක් ගේන්නේ පිටරටින්. අල වලින් 100% ස්වයංපෝෂිතව හිටියත් අද 70% ක් පිටරටින් ගේන්නේ. අබ සියඹලා ඉඟුරු වැනි සෑම දෙයක්ම අද පිට රටින් ගේන තත්ත්වයක් ඇති වෙලා. ඉඟුරු ගොවියා අසරණයි. පිටරටින් ගේන ගම්මිරිස් ප‍්‍රති අපනයන කිරීම නිසා ගම්මිරිස් ගොවියා සම්පූර්ණයෙන් අනාථ වෙලා. අපේ ප‍්‍රතිපත්තිය ගොවියා ආරක්‍ෂා කර ගැනීමයි.

මේ රජය ගොවිතැනට ප‍්‍රමුඛත්වයක් නොදීමේ අදූරදර්ශීකම නිසාත් ගොවීන් ආර්ථික වශයෙන් අමාරු තත්ත්වයකට පත්වෙලා. නව තාක්‍ෂණය හඳුන්වා දීම තුළින් ගොවීන් ආරක්‍ෂා කර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. නව ව්‍යවසායකයින් ගොවි පවුල් තුළින්ම බිහිවුණු අවස්ථා තිබෙනවා. ඔවුන්ගේ ඵලදාව ආරක්‍ෂා කර ගෙන වැඩි ආදායමක් ගොවීන්ට ලබාදීමේ හැකියාව තිබෙනවා.”

කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවැති කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ ජාතික සම්මේලනය අමතමින් (28) හෙතෙම එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස