ජනතාව ඉල්ලන්නේ ගෑස් තෙල් බෙහෙත් නෙමෙයි ව්‍යවස්ථා වෙනසක්…! විධායක ජනාධිපති පදවිය අහෝසි නොකළොත් ජනතාව කුපිත වෙයි…! – කරූ ජයසූරිය..

May 26, 2022 at 11:19 am | by emanisa.lk

21 වැනි සංශෝධනය ගෙන ඒමේ ප්‍රමාදයෙන් ජනතාව කුපිත වී රටේ තත්ත්වය තවත් භයානක විය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.

19 වැනි සංශෝධනයේ ඇතුළත් ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇතුලත් කර 21 වැනි සංශෝධනය වහා සම්මත කිරීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කරන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

“ජනාධිපතිවරයා රජයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ආරම්භ කිරීමට පෙර ලොවට හඬනගා කීවේ එතුමා 19 වැනි සංශෝධනය බල ගැන්වීමට හා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට එකඟ බවත්, ඒ අනුව තාවකාලික සර්වපාක්ෂික රජයක් ඇති කිරීමට එක්වන ලෙසත් පක්ෂ නායකයන්ට ආයාචනා කළා.

යම් හෙයකින් ආණ්ඩු පාර්ශවයේ බලපෑමෙන් මෙම සංශෝධනය ගෙන ඒමට ප්‍රමාද කළ හොත්, එය විශාල මහජන විරෝධයකට හේතු වන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. එතුමා දෙන පොරොන්දු අතීතයේ මෙන්ම හිස් වචන කිහිපයක් බවට ජනතාව හැඳින් වීම නොවැළැක්විය හැකියි. ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ද මෙයින් විනාශ වන බව එතුමා වටහා ගත යුතුයි.

අග්‍රාමාත්‍යවරයා මේ ගැන කරුණු පැහැදිලි කරමින් ලබන සඳුදා යෝජිත පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළත්, පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සඳහන් කළේ පළමුව රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු බවයි. ඔහු දුන් පණිවිඩය නම්, සංශෝධන සඳහා සහයෝගය නොදෙන බවයි. රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමේ අවශ්‍යතාව මහලේකම්වරයාට නොවැටහීම ගැන අපි කනගාටු වෙමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *