ජනතාවට දුන් සියලු පොරොන්දු ඉටු කරනවා…! අලුත් ව්‍යවස්ථාවක් සහ අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙනවා…! – ජනපති…

October 10, 2021 at 5:06 pm | by emanisa.lk

බෙදුම්වාදය පරාජය කළ ආකාරයට ම ඊට හේතු වූ ගැටලු විසඳිය යුතු බවත් එම පළාත් මෙන් ම එම පළාත්වල වාසය කරන ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

එසේ ම ලෝකයට ම දැඩි තර්ජනයක් බවට පත්ව ඇති ආගමික අන්තවාදයට මුහුණ දිය යුතු බවත් තමා පොරොන්දු වූ ආකාරයට ම ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා ජනතාව අපේක්ෂා කළ ආකාරයට කටයුතු කළ නොහැකි වූ බවත් ඒ පිළිබඳ ජනතාව තුළ ඇති අප්‍රසාදය පිළිගත යුතු බවත් හෙතෙම පවසයි. කෙසේ වුව ද ඉදිරියේ දී නව ජවයකින් වැඩ කරමින් එම බලාපොරොත්තු ඉටු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට ම නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඉදිරි වසර ඇතුළත හඳුන්වා දෙන බවත් එක රටක් එක නීතියක් ද වසර ඇතුළත රටේ ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස