ඡන්දේ කල්දාන්න මැතිවරණ කොමිසමට බලය තියෙනවා! ආයේ ඡන්දයකට දින දෙන්නේ කොමිසමට හිතුණොත් විතරයි! – ශිරාල් ලක්තිලක

April 19, 2020 at 3:50 pm | by emanisa.lk

මැතිවරණ කොමිසමට මැතිවරණ කල්දැමීමට නෛතික හැකියාවක් තිබුණ ද ඊළඟට මැතිවරණය පවත්වන දිනයක් නියම කළ යුත්තේ තමන් කැමති නම් පමණක් බව නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

ඔහු පිළිබඳ තබා ඇති ⁣ෆේස්බුක් සටහනක් මෙසේය.

භාරකාර ආන්ඩුවේ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් මැතිවරන කොමිසමේ අවධානය පිනිස නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය තුල අන්තර්ගත ඇතැම් නෛතික හා සමාජ-දේශපාලන කරුනු පිලිබඳව පුරවැසි අවධානය කරනු පිනිස මෙම සටහන තබමි:

පලමුව සඳහන් කල යුතුවන්නේ මෙම නිවේදනය මැතිවරන කොමිසමට යොමු නොකොට මාධ්‍ය වෙත යොමුකිරීම රාජ්‍යතාන්ත්‍රික නොවන ක්‍රියාවක් බවය. අග්‍රාමාත්‍යවරයාගේ එම හැසිරීම මගින් අපට එත්තු ගන්වන්නේ මැතිවරනය පැවැත්වීම පිලිබඳව අග්‍රාමාත්‍යවරයා සහ කොමිසම අතර ඒකමිතියක් නොමැති බවකි.

එසේම පැවසිය යුත්තේ කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී මේවනවිට ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය පිලිබඳව අග්‍රාමාත්‍යවරයා දක්වන කරුනු අවිවාදිත වන්නාක් සේම එහි කීර්තිය අවිවාදිතව ආන්ඩුව සතුවන බවය. නමුත් ඒ සඳහා රටේ පුරවැසියන් ද දැඩි කැප කිරීමක්ද සිදු කොට තිබේ.

නමුත් අග්‍රාමාත්‍ය තුමන් තම නිවේදනය මඟින් ඉඟි කරන්නේ මින් මතුවට තමන් හිස මත තබා ගත් කිරි කලයට ගොම බිංදුවක් එක් කර ගන්නට යන බවකි. එසේම ශ්‍රී ලාංකික සමාජය විසින් දැඩි කැපකිරීමෙන් අත් කරගනිමින් සිටින වසංගත පාලනය දැඩි අනතුරකට හෙලීමට යන බවකි.

ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් ව්‍යංගයෙන් යෝජනා කරන්නේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්විය යුතුව තිබෙන බවයි. එසේම තවදුරටත් ව්‍යංගයෙන් කියන්නේ පවතින තත්වයන් යටතේ මැතිවරනය කඩින් කඩ හෝ පවැත්වීම කල හැකි බවය.

අපට මැතිවරනය හැකි ඉක්මනින් පැවැත්වීම පිලිබඳව කිසිදු ආරෝවක් නොමැත්තේය.

නමුත් නිකුත් කර ඇති නිවේදනය මගින් අප තේරුම් ගන්නේ අග්‍රාමාත්‍ය තුමන් ගේ පහතින් උපුටන වදන් මගින් වක්‍රෝක්තියක් නියෝජනය කරන බවකි.

“කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මෙය රටේ නැවත ආරම්භ විය යුතුය. අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න්, එකොළහක එකම කෙරෝනා වෛරස් ආසාදිතයෙක් වත් නැත. තවත් දිස්ත්‍රික්ක හතක ආසාදිතයන් හමුවී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. තවත් දිස්ත්‍රික්ක දෙකක රෝගීන් පස් දෙනෙකුත් හත් දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන ඇත. රෝගීන් සැළකිය යුතු ගණනක් සොයා ගෙන ඇත්තේ දිස්ත්‍රික්ක පහක පමණි.”

සැබැවින්ම මෙරටේ ජනජීවිතය යතාතත්වයට පත් කල යුතුව තිබේ. එසේම එසඳහා පාර්ලිමේන්තු මැතිවරනයක්ද වහා පැවැත්විය යුතුව තිබේ. නමුත් එයට ඉඩ නොහරින්නේ අප සැවොම කුරිරු ලෙස වෙලාගෙන සිටින වසංගත රකුසා මිස අනෙකකු නොවේ. එවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරනයක් කඩිමුඩියේ පැවැත්වීමට යෑම නැවතත් වසංගතයට මෙරට තුල රිසි සේ ව්‍යාප්ත වීමට අතවැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට නිරන්තරයෙන් සිහි පත් කරනු ලබන පාඩම එයයි. එසේ වුවහොත් රටක් ලෙස දැනට අප සිදු කරමින් සිටින දැවැන්ත කැප කිරීම් ගඟට කැපු ඉනි බවට පත්වනු නොඅනුමානය.රටක් ලෙස විනාෂයට පත් වන කල ඒ තුල ආන්ඩුවට හෝ විපක්ෂයට යයි කියා දෙයක් ඉතිරි නොවනු ඇත.

එවන් පසුබිමක ගරු අග්‍රාමාත්‍ය වරයා මැතිවරන කොමිසම වෙත මැතිවරනය සඳහා දින නියම කිරීම පිලිබඳව ඉදිරිපත් කරනු ලබන නෛතික තර්ක ගර්හිත තර්ක බව පැවසිය යුතුව තිබේ. ගරු ජනාධිපතිවරයා ගේ නියෝගය පරිදි පවතින නෛතික ප්‍රතිපාදන යටතේ මැතිවරනය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ මැතිවරන කොමිසමේ වරදකින් නොව නීතිය ඉදිරියේ හඳුන්වන ලබන Act of God නැතහොත් අනපේක්ෂිත දුර්භාග්‍යක් හේතුවෙනි. එසේම වසංගතය මෝදුවෙමින් පැවති තත්වයක් තුල සහ එය කෙලෙසකට පැතිර යන්නේ ද පිලිබඳව සාමාන්‍ය මිනිසකුට පුර්වේක්ෂණයක් කල නොහැකි තත්වයක් තබා විද්‍යාත්මක මතයක් අදටත් කිව නොහැකි තත්වයක් තුල එදා කොමිසමට ම හැකියාව තිබුනේ පැවති නියෝගය පරිදි මැතිවරනය පැවැත්විය නොහැකි බව නිවේදනට කිරීමට පමනකි. අදටත් වසංගතය පාලනය කර ඇති බවක් විනා මෙම වසංගතයේ පැතිරීම පිලිබඳව කිසිවෙකුට කැට තබා මතයක් ප්‍රකාෂ කල නොහැකිවී තබේ. එසේම අපට බලධාරීන් අවධාරනය කරනු ලබන සමාජ දුරස්ත භාවය පවත්වා ගත යා නොහැකි වන්නේ නම් දැනට පාලිත තත්වයෙන් තිබෙන වසංගතය කොතෙක් දුරට නුදුරේ පවත්වනු ලබන මැතිවරනයක් නිසා කෙතෙක් දුරට ව්‍යාප්ත විය හැක්කේ ද පිලිබඳව කොමිසමට තබා විශේෂඤ වරුන්ට වත් පුර්වේක්ෂනය කල නොහැකි බව යතාරථයකි. එවන් පසුබිමක ගරු අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය මගින් මැතිවරන කොමිසම දෝශදර්ශණයට ලක් කිරීම මෙන්ම කොමිසමේ තීන්දුව තුල නොකරහැරීමක් (omission) පවත්නේ යයි යෝජනා කිරීම යුක්ති යුක්ත නොවන්නා සේම ගොඩනඟා ඇති නිති තර්කයේ අඩුවක්ද පවතින බව කිව යුතුව තිබේ. අදාල නිවේදනය පවසන්නේ මෙසේය;

“1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත.”

සැබවින්ම ගත් කල පවසන 24(3) වගන්තිය පාර්ලිමේන්තුව මගින් හඳුන්වාදෙනු ලැබු අවස්තාවේ දී අද අප මුහුනදෙමින් සිටින හදිසි හෝ පුර්වේක්ෂණය කල නොහැකි තත්වයක් කිසිසේත්ම අරමුනු නොකල බව අදාල වගන්තිය කියවීමෙන්ම පැහැදිලි වන්නේය. එම වගන්තිය ප්‍රතිපාදනය කරන්නේ යම් දිස්ත්‍රික්කයක් මුහුන දිය හැකි තත්වයක් පිලිබඳවය. දෙවනුව එම වගන්තිය සඳහන් කරන්නේ එසේ කල් දැමීම සිදු කරන කල මුලින් නියම කල මැතිවරන දිනයට අවම වශයෙන් දින 14 කට පසුව දිනය ක් විය යුතු බවය. උපරිම දිනය පිලිබඳව සඳහනක් නැත. නාම යෝජනා භාරගත් දිනය තුල පැවති ව්‍යාකුල තත්වය තුල එකී අවම දිනය හෝ උපරිම දිනය විය හැකි 2020 ජුනි 02 දාට හෝ මැතිවරනය පැවැත්වීමට හැකියාවක් පැවතුනේ ද යන්න පිලිබඳව අනුමිතියකට එලඹීමේ හැකියාවක් කොමිසමට තිබුනේ නැත. නීතිය ඉදිරියේ මෙවැනි තත්වයක් අප හඳුන්වන්නේ සන්දර්භයේ ව්‍යර්ත වීමක් (frustration of the context) ලෙසටය. එසේම එවැනි දිනයක් ගැසට් කිරීම සඳහා අදාල වගන්තිය බලකරන්නේ ද නැත. එ සඳහා කොමිසමට ඇත්තේ අභිමතයකි. එ අනුව පෙනෙන්නේ ගරු අග්‍රමාත්‍යවරයා දක්වන ඉහත කරුන සත්‍යට දුරස්ත වන බවය.

ඉන් අනතුරව අග්‍රාමාත්‍ය වරයා යෝජනා කරන්නේ කල හැකි සහ කල යුතු දෙයයි. නමුත් එලෙසට යෝජනා කරන විකල්පයද අපට කිව හැක්කේ නෛතික වශයෙන්ද රටේ සෞඛ්‍ය තත්වය මතද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මුලදර්ම මතද ප්‍රායෝගික නොවන බවය. එකී යෝජනාව වන්නේ;

“සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්‍යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.”

නෛතිකව ගත් කල අප්‍රේල් 25 දාට මැතිවරනය පැවැත්විය යුතු යයි පැවති නියෝගය නීතිය ඉදිරියේ ව්‍යර්තවී තිබේ.

එඅනුව මාර්තු 25 දිනට මැතිවරනය පැවැත්වීමට නොහැකි වන්නේ නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මැතිවරන පනතේ 10(1) යටතේ සිදුකරන ලද නියෝගයේ බලාත්මක භාවය ද අවසන්වන්නේය.

එසේම එකී නියෝගය යටතේ මැතිවරන කොමිසම විසින් භාර ගනු ලැබු නාමයෝජනා පත්‍රවල බලාත්මක භාවයද අවසන්වන්නේය. මක් නිසාද යත් එම නාමයෝජනා භාරගනු ලැබුයේ අප්‍රේල් 25 දා පැවැත්වෙන මැතිවරනයකට එනම් ජනාධිපති ගේ 10(2) නියෝගය පරිදි සති 07 ක කාල වකවානුවකටය. ඉන් පසු දිනකට ජනාධිපති නියෝගයක් නැත. එසේ නම් අනාගත මැතිවරනය පවත්වන දිනයක දී පැරනි නාමයෝජනා වලංගු වන්නේ යයි පැවසීම සඳහා නීතියක් නැත.

එසේම අප්‍රේල් 25 දිනට පසුව ජනාධිපති නියෝගයක් නැති නිසා මැතිවරන කොමිසමට පනතේ 24(1)(3) යටතේ ක්‍රියාත්මක වීමට බලය දානය කරන්නේ ද නැත. එ අනුව බලාත්මක නොවන නාමයෝජනා යටතේ මැතිවරනයක් පැවැත්වීමට දින නියම කිරීමට කොමිසමට හැකියාවක් ඇත්තේද නැත.

නෛතික තත්වයන් කෙසේවෙතත් පවතින තත්වය යටතේ සමාජ දුරස්ත භාවය ආරක්ෂාකරමින් ලඟ මැතිවරනයකට යාම භයානක අත්හදා බැලීමක් වනවාට නොඅනුමානය.

දේශපාලනිකව ගත් කලද පවතින තත්ව යටතේ මැතිවරනයක් පැවැත්වීම තරඟය සඳහා සමබිමක් නිර්මානය නොකරන ,නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මුලදර්ම සහමුලින්ම පරාජය කරනු ලබන මැතිවරනයක් බවට පත්වීමේ අවධානමක් මෙන්ම පුරවැසි චන්ද දායක අවමයක සහභාගීත්වයෙන් පැවැත්වෙන චන්දයක් බවට පත්වීමට ඇති ඉඩ කඩ ඉතා ඉහල වනු ඇත.

අවසානයේ දී ගරු අග්‍රාමාත්‍යවරයාට සිදු වන්නේ ජනතාවගේ ජීවිත වලට පරදු තබා බරපතල දේශපාලනික සුදුවකට නිරතවීමටය. ඒ තුල ජන ජීවිතය යතාවත් වන්නේ ද නැද්ද යන්න පිලිබඳව තීරනය කරනු ඇත්තේ CoVID 19 වයිරසයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස