ඡන්දෙ ඉල්ල ගෙන එකෙක්වත් ගමට එන්න එපා..! ඡන්දෙට යන මුදලින් ගොවීන්ට වන්දි ගෙවනු…! – මහවැලි ගොවීන්…

January 24, 2023 at 12:43 pm | by emanisa.lk

ගොයම් කහ වීමේ රෝගය නිසා ගොවීන් මහත් පීඩාවට මුහුණ පා තිබෙන මොහොතක මැතිවරණයක් වෙනුවෙන් යොදවන මුදල් ගොවීන්ට වන්දි මුදලක් ලබා දීමට වෙන් කරන ලෙස මහවැලි බී කලාපයේ සෙවණපිටිය කොට්ඨාසයේ නෙළුම්වැව ඩී 8 ගොවීහු ඉල්ලා සිටිති.

නෙළුම්වැව වෙල්යායේදී ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුහු මේ බව සඳහන් කළහ.

කහ පැහැ ගැන්වී විනාශ වූ ගොයමට වන්දියක් නොදුනහොත් දේශපාලන පක්ෂවල කිසිදු නියෝජිතයෙකුට ගමට පැමිණීමට ඉඩ නොතබන බව නෙළුම්වැව ගොවි සංවිධානයේ ගොවීහු අවධාරණය කරති.

මහවැලි බී කලාපයේ සියයට 50කට වැඩි ප්‍රමාණයක් මෙවර ගොයම් කොළ කහ පැහැ ගැන්වී විනාශ වීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත්, ගොවීන් මුහුණ පා ඇති තත්ත්වයට යම්කිසි වන්දියක් ලබා නොදුනහොත් මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන ඒකාබද්ධ කරමින් මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කරන බවත් සෙවණපිටිය කොට්ඨාස නෙළුම්වැව ඩී 8 ගොවි සංවිධානයේ උපසභාපති එච්.ඒ. ධර්මපාල මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

සෙවණපිටිය, නෙළුම්වැව කෙත්යායේ ගොයම් කහ පැහැ ගැන්වීමත් සමග තමන් ඒ සඳහා විවිධ ප්‍රතිකාර කළද ඉන් විසඳුමක් නොමැති බවත්, මේ සඳහා කිසිදු කෘෂිකර්ම බලධාරියෙකු යම් විසඳුමක් ලබා දීමට නොඑන බවත් ගොවීහු චෝදනා කරති. ගොයම් කහ පැහැ ගැන්වීමත් සමග කරල් බොල්වන බව ද ඒ අනුව අක්කර දෙකහමාරකින් වී කිලෝ 500ක්වත් ලබාගැනීමට නොහැකි මට්ටමක් මෙවර මහ කන්නයේ උදාවන බව ද ගොවීහු සඳහන් කළහ.

කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය පාලනය කිරීමට කෘෂිකර්ම බලධාරීන් යොමුකර ඇති බවට සඳහන් කළ ද කිසිදු නිලධාරියෙකු මෙතෙක් ගමට පැමිණ නොමැති බවට ඔවුහු චෝදනා කළහ.

බැංකුවලට කනකර උකස් කර, ණය වී ඉතා දුක් මහන්සියෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද ගොයම් පැළ කහ වීමේ රෝගයෙන් කරල් විනාශ වුවහොත් තමන්ට මෙන්ම තම දරුවන්ට ද යන එනමං නොමැතිව අලුත් අවුරුදු සමයේදී හෝ දරුවන්ට අලුත් රෙදි කැබැල්ලක් හෝ කිරිබත් කෑල්ලක්වත් පිසගැනීමට නොහැකි මට්ටමක් උද්ගත වනු ඇතැයි ඔවුහු පවසති.

පවතින තත්ත්වය හමුවේ ගොවීන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන්දී වන්දියක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර පැතිර යන රෝගය මර්දනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් මෙන් ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහවැලි බී කලාපීය නෙළුම්වැව ගොවීහු තවදුරටත් සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *