චීන නෞකාවට හම්බන්තොටට එන්න දීම හෙළා දකිනවා..! – අමරපුර සංඝ සභාව…

August 5, 2022 at 6:30 pm | by emanisa.lk

ලංකාව බරපතළ අර්බූදයකට පත්ව ඇති මේ මොහොතේ චීන සන්නිවේදන නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ ලබා දීම දැඩිව හෙළා දකින බවත් ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝද්‍ය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියෝ සඳහන් කරති.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම නෞකාව හේතුවෙන් ලෝකයේ විවිධ රටවල් උණුසුම් තත්ත්වයක් මතු වී ඇති බවකි.

එම නිවේදනය මෙසේය.

චීන යුධ නෞකාව ලබන බදාදා හම්බන්තොට වරායට

අතිපූජ්‍ය ආචාර්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානාහිමි

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ භූ විෂමතාවෙන් කුඩා ඉඩක් ගත් දිවයිනක් ලෙස ස්ථානගත වුවද එය සමුද්‍රීය වශයෙන්, ජාත්‍යන්තර දේශපාලනික සාධක මත මෙන්ම ස්පර්ශ අස්පර්ශ උරුම විසංතුලනයෙන් ද ලෝකයට ම අභියෝගාත්මක තරඟයක් දෙන සුවිශේෂී රටක් බව ලොව පුරා විද්වතුන් විවිධ කෘති ඔස්සේ අනාදිමත් කලක පටන් මත ජනගත කොට ඇත. එනිසා ම කුඩා දිවයිනක් වුවද ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ලෝක අවධානය සුළුපටු නැත. ලෝකයට ඇතිවන ගැටලු අතර සංක්‍රමණයත් ආක්‍රමණයත් ප්‍රබල අවධානයක් දිනාගන්නා ගැටලු සහගත අවස්ථාවන් වන අතර එහිදී ඇතැම් සංක්‍රමණයන් ආක්‍රමණ වෙස් ගැනීමත්, ඇතැම් ආක්‍රමණ සංක්‍රමණ වෙස් ගැනීමත් මෙහිදී ව්‍යාකූල තත්ත්වයක් සේ හුවාදැක්වීම පහසු ය. කෙසේ නමුදු ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ද ආක්‍රමණ සේම සංක්‍රමණ අඩු නොවන තරම් ඇති නිසාවෙන් අප ද එවැනි දේ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම වඩා වටිනා බව සිතිය හැක.

මහජන චීනය, භූගෝලීය වශයෙන් සේම ජාත්‍යන්තර සබඳතා ඔස්සේ ද තම බලාත්මක වපසරිය විතරණය කරගැනීමට උත්සුක වන ලොව ප්‍රධානතම රාජ්‍යයක් ලෙස කාගේත් අවධානය නොඅඩුව ලබන බව අවිවාදිත ය. ටිබෙට් දේශයේ සිදුකළ මිලේච්ඡ මානව සංහාරයත් සමග සිතා බැලීමේ දී ඉතිහාසය නොදත්, ලෝකය පිළිබඳ කියැවීමක් අඩු ශ්‍රී ලාංකික බහුතරයක් මිනිසුන් එනිසාවෙන් ම චීන සුභාවිතාව, සහයෝගය සේම පරිත්‍යාග පිළිබඳ අදටත් වඩා එළඹ සිටි සිහියෙන් නෙත සිත යොමු කිරීම නුවණට හුරු වන්නේ ටිබෙටයටත් වඩා කුඩා හුදකලා දූපතක් ලෙස අප ලබා ඇති අවදානම ඉහළ බැවිනි. ස්වදේශික විදේශික ජනතාව පිළිබඳ සමානාත්මතාවයෙන් සිතාබැලීමටත්, සංග්‍රහ කිරීමටත් ධාර්මිෂ්ට පාලනයක් සහිත රාජ්‍යයක් කිසි ලෙසකත් පසුබට නොවන අතර, පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව සිතා බැලීමේදී ලොව අනෙක් රටවලට සාපේක්ෂව චීනය කිසිදිනෙක චීන වැසියන් කෙරෙහි තරම් අනෙක් කිසිඳු ජාතියක් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දක්වනු දැකීමට ලැබී නැති බව ද සත්‍යයකි. එසේ නම් ලාංකික අප වෙනුවෙන් නිරන්තයෙන් ලබාදෙන මූල්‍ය ණය පහසුකම් සේම භූගෝලීය වශයෙන් තර කරගන්නා තදැති සබඳතා ද මෙහිදී වැඩි අවධානයක් යොමුකොට අප විසින් සුපරික්ෂණය කළ යුතු නොවන්නේදැයි සිතීම කාලෝචිත ය.

මෙම අදහස් දැක්වීමට ආසන්නතම නිමිත්ත ලෙස එළඹෙන 10 වැනිදා හම්බන්තොට බලා සේන්දු වන අති දැවැන්ත චීන නාවික හමුදා යුධ නෞකාව සැලකීම වරදක් නැතැයි සිතේ.

කොළඹ වෙළෙඳ අග නගරය තරමට ම ප්‍රමුඛ ප්‍රබල ගොඩනැගිලි සහ ඉදිකිරීම් සේම ප්‍රමුඛ ආයතන ද ඉදිකළ වාණිජ නගරයක් ලෙසින් හම්බන්තොට ඉකුත් රාජ්‍ය කාලයන්හි සුපෝෂිත නමුදු ජාතික වශයෙන් එම පුරවරයේ සිදුවන වටිනාකමක් ඇතැයි සිතිය හැකි කිසිඳු ව්‍යාපෘතියක්, උත්සවයක් දැකීමට නොලැබීම මත චීන රාජ්‍යය ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ භාවිතාව පිළිබඳ සැක ඉපදීම සාවද්‍ය නොවේ. ටිබෙට් බෞද්ධ සංහාරය සේම කොමියුනිස්ට් සංහාර තවමත් අවසානයක් දැක නොමැති පසුබිමක පාරිශුද්ධ ධර්මය රැකී ඇති ප්‍රබලතම රටක් වන ශ්‍රී ලංකාව මිලේච්ඡ කොමියුනිස්ට්වාදයේ මීළඟ දිගුකාලීන ගොදුර වී ඇත්නම් ඒ වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට අප අවදියෙන් පසුවීම දේශප්‍රේමීත්වය ප්‍රකට කරවන්නකි. එනිසා ”සම්මා වායාම” නමින් ඔවුන් විසින්ම හදුන්වන මෙම ව්‍යායාමය කුමන රාජ්‍යයේ සුවතාව වෙනුවෙන් සිදුවන්නක් ද සේම, මින් කවුරුන් නොමග යන්නේ දැයි සෙවීම අපගේ වගකීමක් සේම මහත් අයිතිවාසිකමකි. විශේෂයෙන්ම අද දවසේ පවා මෙම ”සම්මා වායාම” නම් වැඩසටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය පවුල් දෙදහසකට පමණ බෙදාදෙන වියළි සලාක පරිත්‍යාගයන් සේම, දහසක් පාසැල් දරුවන් වෙනුවෙන් ලබාදෙන ලිපි ද්‍රව්‍ය සහ පාසැල් උපකරණ බෙදාදීමේ පිළිවෙළ ද යම් සැකයකට තුඩුදෙන කරුණක් වනුයේ මහජන චීනයේ කොමියුනිස්ට් හමුදාව ටිබෙටය ආක්‍රමණයට පැමිණෙන විටත් 1950 වර්ෂයේ දී මෙලෙසින්ම ඔවුන්ගේ පළමු ප්‍රයත්නය වූයේ ටිබෙට් වැසියන්ට රසකැවිලි බෙදාදෙමින් ඔවුන් නොමග යැවීම වීම ය.

එනිසා ම රටක් බිඳවැටීම වෙනුවෙන් රාජ්‍ය පාලනයට සේම මහජනයාට ද පැවරෙන වගකීම සිහි කැඳවීම මෙහිදී වටී. ආසන්නතම වශයෙන් අප රටේ පවා උඩරට රාජ්‍ය පාලනය කෙතරම් නම් දරුණු වුවත් එහි හැරවුම්ලක්ෂයන් පිළිබඳ හැදැරීමේ දී කිරීමේදී ඉංග්‍රිසීන්ගේ ආක්‍රමණ විධි සහ සැලසුම් පැහැදිලි පාඩමක් වර්තමානයට ඉතුරු කොට ඇත. සියලු භෞතික සටන් අසාර්ථක වූ පසු ඉංග්‍රිසීන් මෙරටට ගෙන්වූ ජෝන් ඩොයිලි නම් උපාධිධාරී නිළධාරියා පළමුවෙන්ම මෙරට මිනිසුන් සමග සුහදත්වය වඩවාගත් බව මූලාශ්‍රගත ය. රසකැවිලි, මධ්‍යසාර මෙන්ම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පවා දුන් නේකවිධ සංග්‍රහ දානයන් නිසා පාක්ෂික හොඳ හිත දිනූ ඔහු රජවාසල අරක්කැමියා හිතවත් කොට ගෙන පරිත්යාග සේ නිබඳව යැවූ මධ්‍යසාර නිසාවෙන් සිහිවිකල් වූ රජුගේ ප්‍රචණ්ඩත්වයත්, මධ්‍යසාරයෙන්ම විතැන් මානසිකත්වයත් නිසා ජනයාගේ අව සිහියත් හේතු වී සිහසුනේ රැඳී සිටි මිලේච්ඡ පාලකයා වෙනුවට ලංකාව වෙනත් රටක යටත් විජිතයක් වීමේ මාර්ගය එළිපෙහෙළි කළේය. එනිසාවෙන්ම මේ ඓතිහාසික සාධක මත පැහැදිලි කියැවීමක් ඇති කරගැනීම මෙහිදී වඩා වටිනා බව හුවාදක්වනු කැමැත්තෙමි

අතීතයේ පටන් ශ්රී ලංකාව විදෙස් සතුරු ආක්රමණිකයින්ගේ ගොදුරක් බවට පත්වූයේ අදක්ෂ පාලකයන්ගේ රාජ්ය පාලනයේ දුර්වල බවත්, ඉන්පසුව සිහසුනට පත් අනුප්රාප්තික රූකඩ රජවරුන්ගේ අත්දැකීම් හීනතාවය මත ඔවුහු බලලෝභී ආත්මාර්ථකාමීන් වීමත් නිසා ය.

තුරඟ පාලනය වෙනුවෙන් ආනයනය කළ අසුන් රැගෙන වෙළෙඳාමේ පැමිණි දෙබෑයන් පවා මෙරට දී රජුන් වූවේත්, වෙළෙඳ නායකයෙක් ලෙසින් නාවික පරිමාණයෙන් පමණක් බලවත්ව සිටි නමුත් සූක්ෂම ව්‍යාජත්වයකින් පාලන මෙහෙයුම් සැලසුම් කළ එල්ලාල, එළාර නමින් දශක හතරකටත් වැඩි කළක් මෙරට අගනුවර රජකම් කළෙත් ඊට බොහෝ කලකට පසුව පවා යුරෝපීය දේශයන් වෙත අප යටත්ව සිටියේත් ඉහත සඳහන් කළ පාලන තන්ත්‍රයේ බලලෝභය සහ අනුවණ ගති නිසාවෙන් බව හොඳින් ම දන්නා අප මෙවැනි ජාත්‍යන්තර ගණුදෙණු, සංක්‍රමණ මෙන්ම සුහදතා පිළිබඳ පරීක්ෂාවෙන් පසුවීම නුවණට වඩා ඖචිත්‍ය ක්‍රියාවකි.

චීනයේ ලෝකාවරණ එකම මේඝය ඔවුන්ගේ ධනය සේම ආත්මර්ථයම වැඩුණු ජාත්‍යන්තරීය සබඳතා පමණක් බව අදටත් ටිබෙට් දේශය වැනි ප්‍රබල රාජ්‍යයක් අපට ඒත්තුගන්වන විටෙක තවත් ටිබෙට් දේශයක් නොවී, මෙම ”සම්මා වායාම”යන් වෙනුවෙන් සූදානම්ව ”සම්මා සති”යෙන් පසුවීමට තව තවත් මෙම කරුණු කාරණා පිළිබඳ රටවැසියන් කියැවීම, දැනුවත් වීම මෙන්ම අවබෝධයන් ලබාගැනීම මේ මොහොතේ අවස්ථානෝචිත ප්‍රයාණයක මුල් පියවර බව අවසාන වශයෙන් අවධාරණය කිරීම යහපත් ය.

05.08.2022

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස