චමුදිතගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගැන පොලිස් අපරාධ කොට්ඨාශයෙන් විමර්ශන….

July 14, 2021 at 5:41 pm | by emanisa.lk

හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේ දී සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් තුනක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

චමුදිත සමරවික‍්‍රම ඉකුත් 10 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාසය උත්සාහ කර ඇත. එහෙත් කලින් දැනුම්දීමකින් තොරව මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාදිය නොහැකි බව චමුදිත සමරවික‍්‍රම එහිදී ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබා දෙන බව ඔහුට අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත.

කොරෝනා එන්නත්කරණයේ සිදුවන අඩුපාඩු සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්ම යුද හමුදාව එන්නත්කරණයට සම්බන්ධවීමෙන් පසු කොරෝනා ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට කළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රමට එරෙහිව විමර්ශන පැවැත්වීමට පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

එමෙන්ම යුද හමුදාව සහල් මාෆියාව පරදවා රටේ සහල් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවට ඉකුත් වසරේ දී කළ ප‍්‍රකාශය පිළිබඳව දැඩි විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන්ද චමුදිත සමරවික‍්‍රමට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

– divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස