ගෝඨා විනාශ කරන්න පාඨලී රාජිත අනුර අර්ජුන කුමන්ත්‍රණයක් කළා! මමත් ඇවන්ගාර්ඩ් ආයතනයත් එහි ගොදුරක් වුණා! රටට රැකියා 7500ක් සහ ඩොලර් බිලියන ගණනක් අහිමි වුණා! – නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසමට කියයි…

May 27, 2020 at 10:26 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපකීර්තියට පත් කර, ඔහුට නඩු දැමීම සඳහා පැවැති රජයේ ඇමැතිවරුන් පිරිසක් කරන ලද කුමන්ත්‍රණයක් පිළිබඳව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ (26) විශේෂ හෙළිදරව්වක් කළේය.

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන සිව්දෙනා එම කුමන්ත්‍රණය දියත් කර තිබූ බව නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ දීර්ඝ වශයෙන් සාක්ෂි ලබාදෙමින් අනාවරණය කළේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව තමාට අවසර ලබා දුන් බවටත්, එයින් ලැබෙන ආදායම ආරක්ෂක ලේකම්වරයා සහ තමා සාක්කුවේ දා ගත් බවටත් වැරදි සහගත ප්‍රකාශයන් අදාළ පිරිස විසින් සමාජ ගතකර ඇතැයි ද නිශ්ශංක සේනාධිපති මෙහිදී පැවැසීය.

මෙම හිටපු ඇමැතිවරුන්ගේ මූලික චේතනාව වූයේ අසත්‍ය චෝදනා නගා එවකට ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තමාට නඩු පවරා, තමාගේ ව්‍යාපාරය අත්පත් කර ගැනීම බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

මෙම පිරිසගේ ක්‍රියා කලාපය හේතුවෙන් තම ආයතනය වසා දැමීමෙන් රැකියා හාරදහස් නවසියයක් අහිමි වූ බවත් දන්වා සිටි නිශ්ශංක සේනාධිපති රැකියා දෙදහස් පන්සියයක් උත්පාදනය කිරීම සඳහා නයිජීරියානු රජය මගින් අත්සන් කර තිබූ ගිවිසුම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීමෙන් රටට ඩොලර් බිලියනයක පමණ ආදායමක් අහිමි වූ බවද පැවැසීය.

එවක රජයේ සොලිසෙටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම විනාශය පිළිබඳ තමාට කනගාටුව ප්‍රකාශ කර සමාව ඉල්ලූ බව ද හෙතෙම අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස