ගෝඨා නියත ජනපති බව කියන ඇල්පිටිය ප්‍රතිඵලය! – මහින්ද පතිරණ

October 12, 2019 at 10:24 am | by emanisa.lk

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ දිනන්නේ පවතින ආණ්ඩුවයි. ලංකා මැතිවරණ ඉතිහාසය පුරා ද එම සිද්ධාන්තය ඒ අයුරින් ම ඉටු වී තිබේ. එහෙත් 2018 පළාත් පාලන මැතිවරණයෙන් එය වෙනස් වී ඊයේ පැවති එම මැතිවරණයේ ම දිගුවක් වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පවතින ආණ්ඩුව අන්ත පරාජයට පත් වී ඇත. පසුගිය සියළු මැතිවරණවල දී ගත් ඡන්ද ප්‍රමාණය එජාපය විසින් විශාල ලෙස අහිමි කරගෙන තිබෙන බව ද කිව යුතු ය. මුළු රටේ ම තත්වය මෙය බව අමුතුවෙන් කිව යුතු නොවේ. කසකරුවෙකු ලෙස පැමිණි ඇල්පිටිය ඡන්දය මගින් ලංකාවේ සෙසු සියලු එජාප පදනම හරහා යවන භයානකම පණිවුඩය නම් ‘අපට බැහැ’ යන මානසිකත්වයයි. එය ඇතුන් ලවා ද ආපසු හැරවිය නොහැකි එකකි. ඒ අනුව, ජනාධිපතිවරණයේ දී දැනට සිටින එජාප ඡන්දදායකයා ද ඡන්ද පොළට ගෙන ඒමට එම පක්ෂයට නොවිඳිනා දුක් විඳීමට සිදුවනු ඇත. එජාප උපරිමය ලෙස නම් දැරූ ‘සාජිත් සාජිත්’ මන්තරය ද වැඩ කර නැති බව පැහැදිළි වන විට තත්වය අඳුරෙන් අඳුරට යන්නේ ය.

අප මුල සිටම පෙන්වා දුන් කරුණක් නම් සජිත් පැමිණි විට පමණක් අවදිවන සැඟවුණු ඡන්ද පදනමක් එජාපයට නැති බව ය. යම් කලකට පෙර එය තිබුණ ද එම පිරිස යුධ ජය ද සමග මහින්දට එකතූ වූහ. මහින්ද දේශපාලනික යෝධයෙකු සේ ලක් දෙරණෙහි නැගෙන්නේ ශ්‍රිලනිප, එජාප හා ජවිප යන ඡන්ද පදනම් සියල්ල එකවර සියතට ගනිමිනි.

මේ අතර, එජාප නවතම පෙරළිය වූ සජිත්ට අපේක්ෂකත්වය දීම හරහා වන්නේ එජාපයේ මේතාක් තිබූ විවිධාංගීකරණය ඒකාංගිකරණය වීම පමණි. සජිත් ඉලක්ක කරන සිංහල බෞද්ධ ඡන්ද ගෝඨාභයට නොදී ඔහුට ලබා දීමට හේතුවක් නැත. ඔරිජිනල් තිබිය දී ඩුප්ලිකේට් තෝරා ගන්නේ කවුරුන්ද? රනිල් මෙය දැන සිටි නිසා ඔහු නිරන්තරයෙන් ම තම පදනම සෙසු ජාතිකයින් හා ආගමිකයින් අතරට පුළුල් වන ලෙස කටයුතු කර තිබේ. එහෙත් මෙවර එනයින් ද ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නැති බව රනිල් දැනගත්තේ මුස්ලිම් ඡන්ද විශාල ලෙස ගෝඨා වෙත ආකර්ශණය වී තිබෙනු ඔහු දුටු විටය. ව්‍යාපාර කඩා වැටී තමා ජීවනාලිය අහිමි වීම සිය ජාතිකත්ව ප්‍රවණතා ඉක්මවා යාමට බොහෝ සුළු ආගමික්-වාර්ගික පුරවැසියන්ට බල කෙරී ඇත. තම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ද ඔවුන්ට හිසරදයකි. ඒ අනුව, සිංහල ඡන්ද විශාල ලෙස අහිමි, විශේෂයෙන් තම අත තිබූ කතෝලික ඡන්ද ගෙඩිය පිටින් අහිමි අභියෝගයක, මුස්ලිම් ඡන්ද ද දියවී තිබෙද්දි, ජනාධිපතිවරණයක ජය ලකුණු කිරීමට තම පක්ෂයට කිසිසේත්ම හැකි නොවන බව දැනගත් රනිල් අවසාන මොහොතේ අපේක්ෂකත්වය සජිත්ට දෙන්නේ එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම බාගනු සඳහා ය. කොටින් ම රනිල් සජිත් ලවාම ඔහුගේ දේශපාලන අනාගතය අවසන් කර දැමීමට කටයුතු කළේ ය.

ශ්‍රිලනිපය ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුන් 2018 දී ගත් ඡන්ද එලෙසම රඳවාගෙන ඇත. බැලූ බැල්මට එය ශ්‍රිලනිපයේ ජයග්‍රහණයකි. එහෙත් යථාර්තය නම්, ප්‍රාදේශීය ඡන්දවල දී පුරවැසියා භාවිත කරන නිර්නායක අතිශය සංකීර්ණ බව ය. ගමේකම, අපේකම හා සෙසු ක්ෂුද්‍ර සාධක මෙහි දී වඩාත් බලවත් භූමිකාවක් ඉටුකරයි. එහෙත් ජාතික මැතිවරණයක දී මේ සියල්ල අහෝසි වී ලංකාවේ ඡන්ද පදනම හරි මැදින් දෙකට බෙදෙන්නේ ය. එම බෙදී යාමේ දී ශ්‍රිලනිපයට වැටී තිබෙන ඡන්ද සියල්ල ම පාහේ වැටෙන්නේ ගෝඨාභයට ය.ශ්‍රිලනිපයට වැටුණු ඡන්ද වාමාංශික ඒවා ය. එකී වාමාංශික ඡන්ද අන්ත දක්ෂිනාංශික එජාපයට වැටීමේ කිසිදු හැකියාවක් නැත. එසේ වනවානම් එය මෙවර සිදුවිය යුතුව තිබුණි.

ජවිපය සියළු සංදර්ශන මැදින් තමා සිටින ස්ථානය කුමක් ද යන්න නැවත වරක් ඇල්පිටි මැතිවරණය මගින් ඔවුන්ට සිහිපත් කර තිබේ. මේ ජවිපයේ උපරිමය බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව, ඔවුන් ගැන වැඩි වචන කීම කාලය කා දැමීමකි.

වත්මන් තත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට පැහැදිළි ජයක් අත්කර ගැනීමේ හැකියාව ඇත. එහෙත් එය බන්දේසියක තබා ඔහුට ලබා දෙන තුරු නොඉඳ දැනට කෙරීගෙන යන වැඩ පිළිවෙළ ඒ අයුරින් ම ක්‍රමිකව කරගෙන යාමේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු නැත. මේ අතර, රටේ බහුතර ඡන්දය මේ ලෙස ගෝඨාභය වටා රොක් වී තිබෙන අවස්ථාවක, සුළුජාතිවාදය ඔස්සේ ජය අත්කර ගැනීමට සිහින දකින එජාපයට කිව යුත්තේ එවන් ජයක් නොව, එසේ සිතීම පවා රටට අහිතකර බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස