ගෝඨා එන්නේ පොහොට්ටුව ලකුණින් සහාය දෙන්න බෑ! අතින් හෝ පොදු ලකුණකින් එනවා නම් සහාය දෙනවා! – ශ්‍රීලනිපය

September 7, 2019 at 8:06 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයකුට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

එම ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එකඟ වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒ සඳහා එකඟතාව දක්‌වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට දෙපාර්ශ්වය අතර පවත්වන සාකච්ඡාවලදී ඉදිරිපත්වන වෙනත් කරුණුවලට එකඟතාව පළවුණත් මේ වන විට පොහොට්‌ටුව ලකුණ නම් කිරීම නිසා එය බාධාවක්‌ වන බවද හෙතෙම ඊයේ (6) පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ අගමැති කළ විටදී දෙපාර්ශ්වය පොදු සන්ධානයක්‌ සහ පොදු ලකුණකින් ඉදිරි මැතිවරණවලට මුහුණ දියයුතු බවට එකඟතාවට පැමිණ තිබියදී පොදුජන පෙරමුණ පාර්ශ්වය සිය හිතුමතේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සහ ලාංඡනය පොහොට්‌ටුව ලෙස නම්කරමින් තනි කැමැත්තට ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ බව කී මන්ත්‍රීවරයා ඒවාද බාධාවක්‌ කර නොගනිමින් සාකච්ඡා ඉදිරියට ගෙනගිය බවද කීවේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රටේ තුන්වැනි බලවේගය බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පත්වූ බවත් එය ජනාධිපතිවරයකු බිහිකිරීමේදී තීරක බලය බවත් කී මන්ත්‍රීවරයා එය වටහාගෙන අද පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් හා මන්ත්‍රීවරුන් පක්‍ෂයට බඳවාගෙන තනියෙන් ජයග්‍රහණය කිරීමේ දේශපාලන ගමනක නිරත වී සිටින බවද කීවේය.

පවතින දේශපාලන තත්ත්වය වටහා නොගෙන පොදුජන පෙරමුණ කටයුතු කළහොත් තාවකාලික දේශපාලන බලයක්‌ පසුපස නොයා පක්‍ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ නොවී දේශපාලන ගමන ඉදිරියට ගෙනයන බවද සුමතිපාල මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස