ගෝඨා ආවත් හරි පෝයක් වන්දනා  කළේ නෑ….! මේ ආණ්ඩුවට සොබාදහමේ ආශීර්වාදයත් නෑ…! කොවිඩ් වසංගතේ බෝ වුණේ ඒ නිසයි…!

June 25, 2021 at 1:48 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළට සොබාදහමින් පවා බාධා එල්ල වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ හේතුවෙන් රට ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත් ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“වර්තමාන රජය බලයට පත්වු දා සිට එක ම පොසොන් පොහොයක්වත් වන්දනාමාන කරන්න හැකි වුණේ නැහැ. වර්තමාන රජයේ වැඩපිළිවෙළට ස්භාවධර්මයෙන් පවා අවහිරතා ඇවිත්. එදා රජය පත්කරන වෙලාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගොඩක් මතක් කරේ ස්වභාව ධර්මයෙන් යහපතක් වන්නේ රටට ගැළපෙන නිහතමානී නායකයෙක් ඉන්නා විට කියලා.

දැන් අපිට තේරෙනවා මොකක්ද සිදුවෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් අද මේ කොරෝනා තත්ත්වය තුළ රටේ ජනතාව ජීවත තර්ජනයට ලක්වෙලා. මේ වන විට මිය යන ප්‍රමාණයෙන් වැඩි පිරිසක් නිවස තුළ හෝ රෝහලට ගෙන යන විට මියගිහින්.

බොහෝ රෝගීන් නිව්මෝනියාව තත්ත්වයට පත්වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවෙන් ඔක්සිජන් නැති නිසා මිය යනවා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වය තුළ සමස්ත ජනතාව ම දුක්විදිනවා. නමුත් රජයේ සමහරු කොරෝනාව ගරානාවක් කරගෙන.

ඇන්ටිජන් එක ඉන්ජෙක්ෂන් එක ඇතුළු උපකරණ ගෙන්වීමේ දී එක ම ගජමිතුරු කල්ලියක් තමයි මේවට සම්බන්ධ වෙලා ඉන්නේ. රටේ ජනතාව මහපාරේ හෝ නිවස තුළ මැරෙද්දි රජය මොකද්ද කරන්නේ. රජය කොරෝනා සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකාය කියලා හමුදාවට බාර දීලා කැබිනට් මණ්ඩලය වගකීමෙන් මග ඇරලා ඉන්නවා. අද ලංකාවේ කොරොනා තත්ත්වය ඉන්දියාවට වඩා භයානක තත්ත්වයක තිබෙන බව වෛද්‍යවරුන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා.

මෙම වගකීම රජය භාරගත යුතුයි. මේ රජයේ වගකිවයුතු කවුරුත් වගකීම බාර ගන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ කණ්ඩායමකට එය බාර දීලා සියලු දෙනා අත පිය දාගෙන ඉන්නවා. ජන ජීවිතය විශාල අනතුරකට ලක්වෙලා. රජය මේ අවස්ථාවේ සියල්ලගේම සහයෝගය ගෙන කටයුතු කර යුතුයි. අද මේ තත්ත්වයට මුහුණ දෙන්න රජයට කිසිදු සැලසුමක් නැහැ.

අද මේ වන විට කොළඹ තිබෙන ප්‍රධාන වටිනා ඉඩම් සෙලන්දිවා කියලා සමාගමක් හරහා විකුණන වැඩපිළිවෙළක් තිබෙනවා. රටේ දේශීයත්වය ගැන කතා කරලා ආපු ආණ්ඩුව අද අපේ රටේ වැදගත්ම භූමි විකුණමින් යනවා. අද රටේ ආර්ථිකය ඍණ තත්ත්වයක් තිබෙන්නේ. ඒ සඳහා දේපල විකුණලා තමන්ගේ ගොඩ වැඩි කරගැනීම නතර කර යුතුයි. මේ තත්ත්වය තුළ රටේ විශාල ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා.”

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස