ගෝඨාගේ පුරවැසිකම ගැටලුවක් නම් නාමයෝජනා අවස්ථාවේ මතු කරන්න තිබුණා! – මැකො

November 14, 2019 at 11:49 am | by emanisa.lk

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය අගෝස්තු මාසයේ තමා හමු වූ අවස්ථාවකදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක් ඉදිරිපත් කළ බවත් එය තමා සහ මැතිවරණ කොමිසමේ අනෙක් සාමාජිකයන් පරීක්ෂා කළ බවත් සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය අපේක්ෂකයකුගේ නාම​ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවන බවද සභාපතිවරයා පැවැසීය. එම නිසා නාම​ යෝජනා භාරගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය තිබේද නැත්ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවේ.

ජනපතිවරණයට නාම යෝජනා ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා ජනාධිපතිවරණ 15 වගන්තියේ දක්වා තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී තිබිය යුතු සුදුසුකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ. එම සුදුසුකම් තමන්ට ඇති බවට සෑම අපේක්ෂකයකුම සිය නාමයෝජනාව සමග දිවුරුම් ප්‍රකාශයක් භාරදිය යුතුය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාද දිවුරුම් ප්‍රකාශයක් මගින් එම සහතිකය ලබාදුන් බවත් යෝජනාව භාර ගැනීමට කොමිසමට එය ප්‍රමාණවත් බවත් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනා සම්බන්ධයෙන් අනෙකුත් අපේක්ෂකයන්ට විරෝධතා ඉදිරිපත් කළ හැකිව තිබූ නමුත් ඒ අවස්ථාව එවැන්නක් ඉදිරිපත් නොවූ නිසා ඔහුගේ නාම යෝජනා භාරගැනීමට සිදුවූ බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස