ගෝඨාගේ අභියාචනා දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

September 12, 2019 at 11:19 am | by emanisa.lk

ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්‍ෂයක මුදලක් වංක ලෙස පරිහරණය කිරීම සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ චෝදනා පත‍්‍රය පෙළගස්සවා ඇති ආකාරය හා එකී නඩුව විභාග කිරීමට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට ඇති අධිකරණ බලය අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් ගොනු කරනු ලැබ තිබු අභියාචනා පෙත්සම් දෙක විභාගයට ගැනීමට අවසර ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (11) ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමට නීතිමය පදනමක් නොමැති බවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර එකඟතාවෙන් තීරණය කර ඇති බැවින් ඒවා ප‍්‍රතික්‍ෂ‍ෙප කරන බව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ දැන්වීය.

එම අභියාචනා සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල්. ටී. බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සලකා බැලීම සිදු කෙරිණි.

ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප‍්‍රතික්‍ෂෙප කරමින් නිකුත් කළ නියෝග අභියෝගයට ලක්කරමින් ගෝඨාභය රාජපක්‍ෂ විසින් අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කර තිබූ අතර අභියාචනාධිකරණය විසින් එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීම අවසර ලබාදීම පසුගිය ජුනි 18 වැනිදා ප‍්‍රතික්‍ෂෙප කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස