ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයා දී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා දී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව ද ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය නිසා බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ විවිධ ස්ථානවල සැඟ වී බව සඳහන් කළ මන්ත්‍රීවරයා විසි එක් වැනි සංශෝධනයට සහය නොදුනහොත් ගමට පැමිණීමට නොහැකි වේවි යැයි ඕමල්පේ සෝභිත නාහිමියන් කළ ප්‍රකාශයෙන් උන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කර ඇතැයි ද ප්‍රකාශ කළේය.
දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ කපුටු කාක් කියා ගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බවද විමලවීර දිසානායක පැවසීය. ඒ සියලු ප්‍රහාර යට සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.