ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගන්නා සටනට දෙමාපියන් එකතු විය යුතුයි…! – ටිල්වින්…

October 19, 2021 at 5:18 pm | by emanisa.lk

ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතු බවත් ඒ වෙනුවෙන් දෙමව්පියන් මේ සටනට එකතු විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කළ යුතු බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අද (19) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේය.

“පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරගෙන ආවා. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ සුබෝධිනී කමිටු වාර්තාව විසින් නිර්දේශ කරන ලද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමයි.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම අනුගමනය කළේ අරගලය නොසලකා හරින හා සටනට අවලාද එල්ල කරන පිළිවෙතකුයි. එය දරුවන්ට එරෙහිව කරන සටනක් ලෙස අර්ථ ගන්වා ගුරුවරුන් හා දෙමව්පියන් අතර ගැටුමක් ඇති කරවීමට ආණ්ඩුව උත්සාහ කළා. ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන බවට මතයක් සමාජයට දෙන්න හැදුවා.

මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතු වී ඉතාමත් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ, ඔවුන්ගේ සාධාරණ සටන අඛණ්ඩව කරගෙන යන අතර දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අයිතිය තමන් විසින් පවරා ගන්නා බව ප්‍රකාශයට පත් කිරීමයි. ආණ්ඩුව විසින් තීරණය කරන ලද 21 හා 22 පාසල් නොයෑමටත් ඒ වෙනුවට 25වැනිදා සිට දරුවන්ට ඉගැන්වීම භාර ගැනීමට ඔවුන් රටට සහතිකයක් ලබා දුන්නා.

එය ඉතාමත් නිවැරදි තීන්දුවක්. එම තීන්දුව නිසා ආණ්ඩුවේ දුෂ්ට උත්සාහයන් සියල්ල පරාජයට පත් වුණා. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරන්න හදපු විරෝධය අසාර්ථක කරන්න එමගින් හැකිවුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් ඉතාමත් නිවැරදි ලෙස තීන්දුවක් ගත්තා. එම තීරණය පිළිබඳව අපි අපේ ප්‍රසාදය පළ කරනවා.

රටේ ජනතාවත් විශේෂයෙන් දෙමව්පියන් මේ ගැන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ස්තූතිය පළ කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ දරුවන්ට වඩාත්ම ආදරය කරන්නේ තමන් බව ඔවුන් ඔප්පු කර පෙන්වූවා. ආණ්ඩුව තමන් දරුවන්ට ඉතාමත් ආදරය කරන බව පෙන්වීමට බොරුවට රඟපාමින් සිටියා. ඔවුන් දරුවන්ට ආදරය කළානම් අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කළ යුතුව තිබුණා. පාසල්වල අඩුපාඩුකම් සම්පූර්ණ කළ යුතුව තිබුණා. දරුවන්ට උගන්වන ගුරුවරුන් විසින් ඉල්ලන අවම වැටුප දිය යුතුව තිබුණා. ඒ කිසිවක් ලබා නොදී සල්ලි නාස්ති කරමින් සිටින ආණ්ඩුව අද දරුවන් ගැන බොරුවට කිඹුල් කඳුළු හෙළනවා. නමුත් ආණ්ඩුවට වඩා තමන් වගකීම් ඉටු කිරීමට සූදානම් බව ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීරණයක් ගැනීමෙන් පෙන්වා දුන්නා.

මෑත කාලයේ වැඩිම ජනතා සහයෝගයක්, ප්‍රසාදයක් ලබා ගත් අරගලයක් බවට ගුරු විදුහල්පති අරගලය පත්වුණා. වැටුප් විෂමතා ගැටලුව විසඳන බවට පොරොන්දු වී ගුරුවරුන්ගේ ඡන්දය ගෙන බලයට පැමිණි ආණ්ඩුව එම අරගලය හමුවේ කටයුතු කළේ ඉතාමත් දුෂ්ට හා මර්දනකාරී ආකාරයෙනුයි. උද්ඝෝෂණවලදී පොලීසිය ලවා ගුරුවරුන් ගුරුවරියන් අත්අඩංගුවට ගත්තා.

ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතුයි. ඒ වෙනුවෙන් දෙමව්පියන් මේ සටනට එකතු විය යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කළ යුතුයි. එමගින් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සටනට අපි අපේ උපරිම සහය ලබා දෙන බව ප්‍රකාශ කරනවා. “ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී සඳහන් කළා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස