ගිනි තබා ගෙන දිවි නසාගත් බදියුදීන්ගේ බාල වයස්කාර මෙහෙකාරිය දූෂණය කරලා….!

July 17, 2021 at 8:02 am | by emanisa.lk

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටින ඔහුගේ බිරිඳ මව්පියන් සහ මෙහෙකාර සේවයේ යෙදී සිටින තරුණයකුගෙන් බොරැල්ල පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යයි. මේ වන විට රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින රිෂාඞ් බදියුදීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම දැරිය රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇත්තේ ඇයට අවුරුදු 15යි මාස 11ක දී බව ද විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම දැරිය හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

මෙසේ සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට කිසියම් බරපලතළ හේතුවක් තිබිය යුුුතු බව පවසන පොලිසිය ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පවසයි. දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වීම නිසා සියදිවි හානි කරගන්නට ඇති බවට සැක පහළ කරයි.

මෙම දැරිය මිය යෑමට පෙර ජාතික රොහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ තමන් සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගත් බවයි. එහෙත් එසේ ගිනි තබාගැනීමට හේතුව ඇය පවසා නැත. මෙහි දී මියගොස් ඇත්තේ හැටන් ඩයගම බටහිර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16 යි මාස 08 ක් වයසැති ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති දැරියකි.

මෙම දැරිය මීට වසරකට පමණ උඩදී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම දැරිය සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ඉකුත් 03 වැනිදා ය. ඇගේ සිරුරේ 72% ක ප‍්‍රමාණයක් ගිනි ගැනීමෙන් දැඩි ලෙස පිළිස්සී ගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. දැරිය දින 12 ක් තිස්සේ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (15) මියගොස් තිබිණි. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස