ගිනි අව්වේ සිට ඇවිත් දිය නාලා…! දෙදෙනෙක් එතැනම මැරී වැටේ..!

April 24, 2023 at 9:50 am | by emanisa.lk

අධික උෂ්ණය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව එප්පාවල පදිංචි පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇත.

ඉන් එක් අයකු අවුරුදු උත්සවයක දී කඹ ඇදීමේ තරගයට සහභාගි වී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර දමා ගැනීමෙන් පසු ද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමෙන් පසු අව් රස්නය නිසා දිය නා තිබීමෙන් ද සංකූලතා හට ගැනීමෙන් මියගිය බව එප්පාවල හදිසි මරණ පරික්ෂකවරයා පැවසීය.

එප්පාවල පහළ සියඹලෑව පදිංචිව සිටි ඒ.ආර්.ඩී. අතුල ධම්මික (34) සහ එප්පාවල කටියාව යාය 02 පදිංචිව සිටි එල්.ජී. විජේසිංහ (38) යන දෙදෙනා මෙසේ මිය ගොස් ඇත.

ඒ.ආර්.ඩී. අතුල ධම්මික පසුගිය 16 වන දා අවුරුදු උත්සවයේදී කඹ ඇදීමේ තරගයට සහභාගි වී අධික තෙහෙට්ටුව නිසා තම නිවසට ගොස් නිවසේ තබා තිබූ ශීත කළ වතුර බෝතලයක් ගෙන තම හිසට වත්කරගෙන තිබේ. මේ හේතුවෙන් සංකූලතා තත්ත්වයක් පැන නැගීම නිසා වහා ම එප්පාවල රෝහලට ඇතුළත් කළත් එහිදී මියගොස් තිබේ.

එසේ ම, කටියාව යාය 02, පදිංචිව සිටි එල්.ජී. විජේසිංහ ඉකුත් 18 වන දින තම කූඹුරට ගොස් ලියදිවල තණකොළ කපා තෙහෙට්ටු වී අසල ඇති ඇළට බැස දිය නා ගොඩට ඒමෙන් පසුව මියගොස් ඇති බව එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. පී. එස්. ජයවික්‍රම පැවසීය.

මෙම මරණ දෙක පිළිබඳව එප්පාවල පොලිසියේ පොලිස් සැරයන් රෝහිත (62673) පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවා තිබේ.

මෙම මරණ දෙක ම සම්බන්ධව එප්පාවල රජයේ රෝහලේ වෛද්‍ය එන්.එච්. දිසානායක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකොට ඇති අතර මෙම දෙදෙනා ම මියගොස් ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා කම්පන තත්ත්වයට පත්වී හදිසි හෘදයාබාධ තත්ත්වයට පත්වීමෙන් බවට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ලබා දී තිබේ.

පොලිස් සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි උපයෝගි කර ගනිමින් මෙම මරණ දෙකම මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හෘදයාබාධය ඇති වී මිය ගිය බවට එප්පාවල හදිසි මරණ පරීක්ෂක එම්. පී. එස්. ජයවික්‍රමගේ තීරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස