ගාලු මුවදොර දී හාමුදුරුවන්ට තුවාල වුණේ බැණ වැදීමක් නිසයි…!

May 1, 2022 at 11:15 am | by emanisa.lk

ගාලු මුවදොර විරෝධතා භූමියෙහි රැඳී සිටින චමීර ජීවන්ත දෙද්දුවගේ නැමැත්තෙකු විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

ඊයේ දිනයේදී අරගල බිම තුළදී කිතුණු පියනමක් ස්වාමීන් වහන්සේ නමකට පහරදුන්නා ය යනුවෙන් පැතිර යන ප්‍රකාශය සහමුලින් ම අසත්‍ය ය. එම සේයාරුවේ ඉන්නා Amila Jeevantha Peiris පියනම වනාහි පසුගිය දාක පූජ්‍ය Dhammananda Galkande හිමි සමග බිම වාඩි වූ කෙනා ම ය. කිතුණුවන් අතර පමණක් නොව බෞද්ධයින් අතරත් නොමඳ ගෞරවාදරයට පත් ජීවන්ත පියතුමා ඉලක්ක කරගෙන මෙවැනි මඩ ප්‍රචාරයක් පැතිරවීමේ අරමුණ, අරගලබිම තුළට යළිත් ජාතිවාදය සහ ආගම්වාදය ගෙන ඒම මිස අන් කිසිවක් නොවන බව අපි දනිමු.

දැනට දැනගන්නට ඇති ආකාරයට සිදු වී තිබෙන්නේ එක්තරා කලහකාරී පුද්ගලයන් කීපදෙනෙකු විසින් පූජ්‍ය අලව්වේ ධම්මසුජාත හිමියන්ට වාචික ව බැණ වැදීම සහ එහිදී උන් වහන්සේට සුළු තුවාල සිදු වීමයි. වැඩි විස්තර ගෝඨාගෝගම මාධ්‍ය ඒකකයේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකින් දැනුම් දේවි.

අද උදෑසන ම අප කීපදෙනෙකු බලංගොඩ කස්සප හිමියන් හමු වී දීර්ඝ වශයෙන් කතා කළා. අප එකඟ වූ සහ නුවූ දෑ බොහෝ තිබුණත්, සමස්තයක් ලෙස අරගලයට දායක නොවන කලහකාරී පිරිස් විසින් පූජ්‍ය පක්ෂයට, මාධ්‍යවේදීන්ට, කාන්තාවන්ට ප්‍රශ්න ඇති කරමින්, නීති ආධාර සභාව, පුස්තකාලය සහ පුරවැසි සභාව වැනි ජනයා බහුල ව ගැවසෙන තැන්වලට කරදර කරමින්, අප්‍රසන්න හැසිරීම් දක්වමින්, සංවිධානාත්මක ව අරගලය අලකරන්නට උත්සාහ ගන්නා බවට අප සියල්ලන් ම දැනුවත් බවට එකඟ වුණා.

ඒ වගේ ම මේ පිරිස් පාලනය කරන්නත් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවටත් අපි එකඟ වුණා.
මේ කාරණයේ නීතිමය කටයුතුවලට බාධා නොවන සේ කිව හැකි දේ තමා ඔය. අද රෑ හෝ හෙට දවස තුළ මේ ගැන වඩා පුළුල් විස්තරයක් ගෝඨාගෝගම පැත්තෙන් අහන්න ලැබේවි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *