බේරුවල දී පිරිසක් විසින් සිදුකළ පහර දීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
බේරුවල ධීවර වරාය ආසන්නයේ දී පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය උපදෙස් දී ඇති බවත් එහිදී දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහර දී ඇති බවත් සඳහන් වෙයි.
එහිදී පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් ද සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.