කෝටි ගණනින් ලාභ ලැබූ ලුණු සංස්ථාව යහපාලන සමයේ කෝටි ගණනින් පාඩු ලබයි! වසරක් ඇතුළත ලාභ ලබා පෙන්වන්නැයි ජනපතිගෙන් නව පරිපාලනයට අභියෝගයක්!

June 24, 2020 at 11:24 pm | by emanisa.lk

වසරක කාලයක් තුළ ලාභ උපයා පෙන්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලංකා ලුණු පෞද්ගලික සමාගමට දැනුම් දී ඇත.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්ත්වය විමසුමට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි.

2017 වසර වන විට ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය.

2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලැබීය.

තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත්වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබීය.

පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන් ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නැයි පවසා ඇත.

ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය බවත් 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස