කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මිය යන භූමදානය ඉල්ලා සිටින මළ සිරුරූ ඉරනතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යාමේ දී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරයි.
යම් පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යාමෙන් පසු භූමදානය අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඥතීන් නොපමාව සෞඛ්‍ය අංශ වෙත දැනුම්වත් කළ යුතුය.
එම දැනුම් දීම අනුව අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා හෝ වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා විසින් දේහය භූමදානය කිරීමේ එකඟතාව අදාල මියගිය පුද්ගලයාගේ ඥාතින් ගෙන් ලබා ගත යුතුය.
ඉන් අනතුරුව හදිසි මරණ පරීක්ෂණ වාර්තාවේ එම මරණය භූමදානය කිරීම සඳහා රැගෙන යනු ලබන ස්ථානය ද ඇතුළත් විය යුතු වන අතර දේහය රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සකස් කිරීම අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් සුදානම් කළ යුතුවේ.
මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය භූමදානය සඳහා රැගෙන යනු ලබන දිනය අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් ඥාතීන්ට දැනුම් දිය යුතු වන අතර දේහය බහාලීම සඳහා වන පෙට්ටිය ඥාතින් විසින් සැපයිය යුතුය.
මළ සිරුර භූමදානය කිරීම සඳහා රැගෙන යාමට සුදානම් කිරීමේදී ආගමික වතාවත් කිරීමට අවස්ථාව ලබාදෙන අතර එයද සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමවේදයන්ට යටත්වය.
මියගිය කොවිඩ් ආසාදිතයින්ගේ දේහයන් භූමදානය සඳහා රැගෙන යනු ලබන්නේ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය සහ වැලිකන්ද රෝහලේ සිටයි. එම ස්ථාන දෙකට අදාළ දේහයන් ගෙනවිත් භාරදීම අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරින් විසින් කටයුතු කළ යුතුය.
ඉහත ස්ථාන දෙකේ සිට සෑම උදෑසනකම පෙරවරු 5.30 ට නාච්චිකුඩා තොටුපොළ දක්වා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ රැගෙන යෑම සිදුකරනු ලබයි. එතැන සිට ඉරනතිව් දුපත බලා දේහයන් රැගෙන යාම සිදු කෙරේ.
මෘතදේහ හඳුනා ගැනීමට සම්බන්ධ වන පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරනතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය ද පුර්ව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකරයි.
දේහය තැන්පත් කර ඇති පෙට්ටිය කිසිදු හේතුවක් මත විවෘත කිරීමට අවසර හිමි නොවෙන අතර අවසන් කටයුතු කිරීමේදී දේහය ඇතුලත් පෙට්ටියේ හැසිරවීම යනාදී කටයුතු සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි ය.
මෘතදේහ භූමදානය කිරීමට රැගෙන යාමේ දී ආරක්ෂක අංශවල ආරක්ෂාව සැපයෙන අතර සෞඛ්‍ය බලධාරීන් සහ භූමදානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත.