කොවිඩ් සඳහා දේශීය ඖෂධ දෙන්න ඉදිරිපත් වන්න…! වගකීම භාර ගන්න මම සූදානම්…! – ඇමැති සිසිර පාරම්පරික වෛද්‍යවරුන්ට කියයි…

August 27, 2021 at 8:11 am | by emanisa.lk

කොවිඩ් වසංගතය හමුවේ ග්‍රාමීය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරු දීමට නොබියව ඉදිරිපත් වන ලෙසට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මෙරට සිටින සියලු පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ හා නොවූ ඕනෑම පාරම්පරික වෛද්‍යවරයකුට මේ සඳහා ඉදිරිපත් විය හැකි බවත් එහි වගකීම ඇමැතිවරයා ලෙස තමා බාර ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

ඕනෑ ම රටක පවතින සාම්ප්‍රාදායික අත්බෙහෙත් මෙවැනි වසංගතයක් හමුවේ යොදා ගත හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර ඇති බවත් එය පිළිගත් සම්මතයක් වන අතර, එම සම්මතයට අනුව අදාළ ඖෂධ භාවිත කිරීමට ඉදිරිපත් වන ලෙස වෙද මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීය.

මේ වසංගතය හමුවේ අසරණ ජනතාවට දේශීය ඖෂධ දීම මානුෂීය පදනම මත පිහිටා කළ යුතු බවත් දේශීය ඖෂධ ගැනීමෙන් කිසිවකුත් මරණයට පත් නොවන බවත් ඇමැතිවරයා කීය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාතික හා අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා ඇතැයි ද, පාරම්පරික වෙද මහත්වරුන් ලියාපදිංචියට දේශීය වෛද්‍ය සභාව ස්ථාපිත කිරීමේ නෛතික කටයුතු කරමින් පවතින්නේ යැයිද ඇමැතිවරයා කියා සිටියේය.

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කරමින් ලිහිල් කර ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස