කොවිඩ් මර්දන සටනට පෙරමුණ ගතහැකි වෛද්‍යවරු දහසක් ගෙදර…!

September 4, 2021 at 10:21 am | by emanisa.lk

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ සිසුන් කඩිනමින් සේවයට බදවා ගන්නා ලෙසට සිදුකරන ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට බාධා මතුව තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඉල්ලා සිටින්නේ සීමාවාසික පත්වීම් හරහා මෙම සිසුන් සේවයට බදවා ගන්නේ නම් එය සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවය.

ඒ හරහා දහසකට අධික සීමාවාසික වෛද්‍යවරුන් පිරිසක් සේවයට එක්කර ගත හැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසයි.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ විභාගය මේ දක්වා පවත්වා නොමැතිවීම හේතුවෙන් මෙලෙස සීමාවාසික පත්වීම් නිකුත් කළ නොහැකි බව වාර්තා වෙයි.

සියලු සිසුන් එකවර සීමාවාසික පත්වීම් ලැයිස්තුවට ඇතුළත් කරන බැවින් එම විභාගය පවත්වා ප්‍රතිඵල පැමිණි පසු එය සිදුකළ හැකිය. නෙත් නිවුස් වෙත වාර්තා වුයේ එම විභාගය පවත්වා ප්‍රතිඵල ලැබීමට ඔක්තෝම්බර් මාසය දක්වා කල්යනු ඇති බවයි.

වෙනම ලැයිස්තුවකින් එම සිසුන්ට සීමාවාසික පත්වීම් ලබාදුන්නද එහිදීද ඉදිරියේදී ගැටළු මතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීමකදී පෙනී ගියේ දැනට සකස් කර ඇති සීමාවාසික පත්වීම් ලබාදී පසුව සෙසු පිරිසට පත්වීම් ලබාදීමේ හැකියාවක් ඇති බවයි.

දෙවන කණ්ඩායමට එමඟින් අවාසියක් නොවීමට පළමු කණ්ඩායමේ සීමාවාසික පත්වීම් කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට ද හැකියාවක් පවතියි.

මේ වන විට සීමාවාසික පත්වීම් ලබා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වෙනත් කාර්යන් සඳහා අනියුක්ත කිරීමට නම් මෙම කණ්ඩායම සීමාවාසික පත්වීම් මත සේවයට පැමිණිය යුතුයි.

මේ වන විට සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් සිටින දහසකට වැඩි පිරිසට කඩිනමින් පත්වීම් ලබාදීම වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මොහොතේ පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට යම් සහනයක් වනු ඇත. එමෙන්ම රෝගී ජීවිත බේරා ගැනීමටද එය ඉවහල්වනු නොඅනුමානය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස