කොවිඩ් මර්දන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයයි….! යෝජනා 08ක් ඇතුළත් ලිපියක් ජනපතිට….!

May 27, 2021 at 12:21 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජය පළමු කොවිඩ් රැල්ල පාලන ක්‍රමවේද විශේෂයෙන් මහජන මනෝභාවය සකස් කිරීමේ ක්‍රමවේදවල යම් අඩුපාඩු නිසා දැන් වසංගත තත්ත්වය බරපතළ ලෙස වර්ධනය වෙමින් ඇති බව රහසක් නොවන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

මේ බව සඳහන් කර ඇත්තේ ජාතික සංවිධාන එකමුතුව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යෝජනා 08ක් යුත් ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම ලිපිය පහත දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ

ගරු ජනාධිපතිතුමනි,

කොවිඩ් වසංගතය පාලනයේදී දක්නට ලැබෙන උපායමාර්ගික දුර්වලතා නිවැරදි කිරීම පිළිබඳව

ශ්‍රී ලංකා රජය පළමු කොවිඩ් රැල්ල පාලනයේදී ප්‍රදර්ශනය කළ ප්‍රතිඵලදායකත්වය ක්‍රමයෙන් හීන වන තත්ත්වයක් තිබෙන බව ජාතික සංවිධාන ලෙස සහ රටේ පොදු ජනතාව ලෙසත් අපි නිරීක්ෂණය කරමු. පළමු රැල්ල අවසානයේ දී පැන නැගුණ වැලිසර නාවික හමුදා පොකුර ආරක්ෂක හමුදා මැදිහත්වීම් මත ඉතා කඩිනමින් පාලනයට යටත් කළ ද දෙවන රැල්ල ලෙස මතු වූ බ්‍රැන්ඩේක්ස් පොකුර ඒ ආකාරයට කඩිනමින් පාලනය කිරීමට නොහකිවීම නිසා එම පොකුර පාලනය කිරීම සඳහා දඩි වෙහෙසක් දැරීමට සිදුවිය. ඒ අතර පාලන ක්‍රමවේද විශේෂයෙන් මහජන මනෝභාවය සකස් කිරීමේ ක්‍රමවේදවල යම් අඩුපාඩු නිසා දැන් වසංගත තත්ත්වය බරපතළ ලෙස වර්ධනය වෙමින් ඇති බව රහසක් නොවේ. ඒ අනුව ඉන්දියාව මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වය කරා අප රට ළඟාවෙමින් තිබෙනවා ද යන සාධාරණ සැකය සමාජ තුළින් මතුවෙමින් ඇත.

විවිධ වසංගත රෝග විද්වතුන්ගේ මත අනුව සහ අවුරුදු පොකුර 50000කට ඉක්මවා යාම සහ දිනක රෝගීන් ප්‍රමාණය 2500 දක්වා වර්ධනය වීම තුළ තත්ත්වය නරක අතට හැරෙමින් තිබෙන බව තේරුම් ගැනීම අමාරු නැත. එසේ වුවත් තත්වය පාළනය කිරීම සදහා ඔබතුමාගේ නායකත්වය යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඉතා බලවත් වෙහෙසක් දරන බවට සමස්ථ සමාජයේ පිළිගනීමට ලක්ව ඇත. විශේෂයෙන්ම ආරක්ෂක හමුදා මෙන්ම සෞඛ්‍ය බලධාරීන් ආදී සමස්ත පද්ධතිය රෝග පාලනය සහ ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම සදහා ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදෙන බවට විවාදයක් නැත. එසේම එන්නත් ලබාගැනීමේදී ජාත්‍යන්තර එන්නත් බෙදාහරීමේ ක්‍රමවේදවල පවතින ප්‍රායෝගික දුෂ්කරතා සෙසු රටවලට මෙන්ම අප රටටද මුහුණදීමට සිදුවන බව තේරුම් ගනීම අමාරු නැත. එවැනි තත්වයක් තුළ සමස්තය දෙස තාක්ෂණික මෙන්ම දේශපාලන උපාය මාර්ගික ඇසකින් බලන විට කොව්ඩ් පාලන උපාය මාර්ගික ප්‍රවේශයේ දක්නට ලැබෙන දුර්වලතා කිහිපයක් අප විසින් නිරීක්ෂණය කොට ඇත.

එම දුර්වලතාවන් සහ ඊට අදාළ නිවැරදි කිරීම් පිළිබද අපගේ අදහස් සහ යෝජනා ඔබතුමා වෙත මෙසේ දැනුම්දීම අපගේ යුතුකමක් ලෙස සළකමු.

1. රුසියාව, චීනය වැනි රටවල් මෙන්ම අප රටේ ද වසංගත පාලනය සඳහා ආරක්ෂක හමුදා සතු සම්පත් සහ පිරිස් බලය උපරිමයෙන් යොදා ගැනීම ඉතා නිවැරදි වන නමුත් සෞඛ්‍ය අංශවල තාක්ෂණික මගපෙන්වීම මත සෞඛ්‍ය පද්ධතිය සහ ආරක්ෂක හමුදාවල බාහිර මැදිහත්වීම සමස්තයක් ලෙස කළමනාකරණය කිරීමේදී දක්නට ලැබෙන සම්බන්ධීකරණ දුර්වලතා මගහැර ගැනීම සඳහා ජාතික මට්ටමින් මෙන්ම පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වේ.

ඒ සඳහා නවසීලන්තය වැනි රටක භාවිත වන අනතුරු ඇගවීමේ මොඩලය අප රටට ඉතා සුදුසු බව පෙනේ. එම මොඩලය තුළ අනතුරු ඇගවීමේ මට්ටම් 4ක් ප්‍රකාශයට පත් කෙරෙන අතර එක් එක් මට්ටම ප්‍රකාශයට පත්කිරීම සදහා නිශ්චිත නිර්ණායක පනවා ඇත. යම් මට්ටමක් ප්‍රකාශයට පත්කළ පසුව විවිධ ක්ෂේත්‍රවල රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනයා විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ මෙන්ම වගකීම පිළිබදවද නිශ්චිතව දැක්වේ. එවිට අවස්ථාව අනුව පුද්ගලයින්ගේ කැමැත්ත, අකමැත්ත හෝ සීමා කම් වලට යටත්ව තීන්දු ගනීම වෙනුවට ප්‍රායෝගික යථාර්ථයට අනුව සමස්ථ පද්ධතිය ක්‍රියාත්මක වනු ඇත.

2. අප විසින් නිරීක්ෂණය කොට ඇති දෙවන දුර්වලතාව වන්නේ මහජනතාවට දඩිව අවධාරණය නොකිරීම සහ මහජනයා බිම් මට්ටමේදී එනම් ප්‍රාථමික රෝග පාලනයේදී සංවිධානාත්මකව යොදා නොගැනීමය. ලෝකයේ කිසිදු රටක නොමැති ආකාරයට අප රටේ බිම්මට්ටමේ දී රාජ්‍ය සේවා සපයන නිළධාරින් 05 දෙනෙකු සිටින අතර ප්‍රජා පොලිස් කමිටු පවා ක්‍රියාත්මක වේ. ඒ නිසා බිම් මට්ටමේ දී එම නිළධාරින්ගේ සහභාගීත්වය සහිතව මහජන කමිටු පිහිටුවිය යුතුය. එම කමිටුවලට ආවේක්ෂණය සහ නිරෝධායනය පිළිබද වගකීම් පමණක් නොව සෞඛ්‍ය අංශවලට මහජන සහය ලබාදීමේ වගකීමද පැවරිය යුතුය.

3. ඉහත සදහන් මහජන කමිටු මෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රාථමික රෝග නිවාරණය විශේෂයෙන්ම නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිරිමත් කිරීම සදහා ඔවුන්ගේ අමතර පිරිවැය පියවා ගැනීමේ පදනම යටතේ යම් දිරිගැන්වීමේ දීමනාවක් ලබාදීම සහ පොදුවේ ඔවුන්ගේ මානසික තත්වය සහ උනන්දුව ඉහළ මට්ටමක පවත්වා ගැනීම යනු උපාය මාර්ගික වශයෙන් වැදගත්වන කළමනාකරණ පැතිකඩක් ලෙස අපි දකිමු.

4. මේ වනවිට පමාවී ආරම්භ කළ සංචරණ සීමා තවදුරටත් වර්ධනය කළ යුතු බවට මහජනයාගෙන්ම යෝජනා ඉදිරිපත් වේ. ඒ අනුව සති අන්ත සීමා, කිරීම් දින 14ක් දක්වා දිර්ඝ කිරීම අපි ඉතා ඉහළින් අගය කරමු. එසේම සෙසු දිනවල කාල රාමුව අඩු කිරීම මගින් පනවන සීමා, අත්‍යවශ්‍ය නොවන සේවා සහ ආයතන විවෘතව තබන වේලාවන් පිළිබද සීමා, උත්සව සහ විනෝදගමන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීම ආදී වශයෙන් වන සෙසු සීමාවන් අවම වශයෙන් තවදුරටත් ඉදිරි දින 30ක කාලයක් සදහා පැනවිය යුතු බව අපගේ තක්සේරුව වේ. එහිදී නිදහස පිළිබද මධ්‍යම පාන්තික මනෝභාවයන් සහ ආර්ථිකය පිළිබඳ පනවනු ලබන මානසික බාධක සැලකිල්ලට නොගත යුතු බව අපගේ විශ්වාසයයි. රෝගය පාලනය කර ගැනීමට නොහැකිවීම මගින් දිර්ඝකාලීනව ඇතිවිය හැකි ආර්ථික අර්බුදය රෝගය පාලනය කිරීම සඳහා කොටිකාලීනව ගනු ලබන පියවර මගින් අත්විය හැකි අර්බුදයට වඩා බරපතළ වීමේ අනතුර අප විසින් වටහාගත යුතුය.

5. එන්නත් නිපදවන චීනය වැනි රටක පවා නොකෙරෙන ආකාරයට රෝග පාලනය සඳහා එන්නත් යනු එකම විසඳුම ලෙස සමාජගත කිරීම බලවත් වරදක් ලෙස අපි දකිමු. ඒ මගින් එක් පැත්තකින් සෙසු නිරෝධායන සහ රෝග නිවාරණ මහජන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව මහජන අවධානය සහ විශ්වාසය අඩුවේ. එසේම අනෙක් පැත්තෙන් රෝගයට මුහුණදීම සඳහා පුද්ගලික ප්‍රතිශක්තිය වර්ධනය කිරීම පිළිබදව අවධානය සහ විශ්වාසයද බිදවැටේ. චීනයේ එන්නත තරමටම වටිනාකමක් දේශීය වෛද්‍ය ක්‍රම මගින් මහජන ප්‍රතිශක්තිය වැඩිකිරීම, රෝග ලක්ෂණ පාලනය කිරීම සහ සංකූලතා අඩුකිරීම වැනි ක්‍රියාමාර්ගවලටද ලබාදී ඇත. ඒ නිසා අප රටේදී සිදුවන වරද වහාම නිවැරදි කළ යුතු බවද අවධාරණය කළ යුතුය.

6. ඒ අනුව රෝග සත්කාර පහසුකම් වැඩිකිරීමේදී ආයුර්වේද රෝහල්වල ධාරිතාව උපරිමයෙන් යොදාගත යුතු බව සහ එම රෝගීන්ගේ කැමත්ත අනුව ඔවුන්ට දේශීය ඖෂධ ලබාදීමට ඉඩ ලබාදිය යුතු බව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීම ඉතා වැදගත් වේ. එහිදී යම් රෝගියෙකු දේශීය ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවට කරනු ලබන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම සහ ආයුර්වේද රෝහලකදී දේශිය ප්‍රතිකාර ලබාදීම වැළැක්වීම මගින් රෝගීන්ගේ සහ දේශිය වෛද්‍යවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පිළිගැනීමට සිදුවේ. ඒ නිසා දැනට සිදුවන වරද නිවරදි කිරීම සදහා වහාම කටයුතු කළ යුතුය.

7. රෝග සත්කාර සේවාවල සීමාකම් නිසා රෝගීන් තම නිවාස ආශ්‍රිතව කළමනාකරණය කිරීම මගින් ඇතිවිය හැකි ගැටළු, විශේෂයෙන්ම මහජන විශ්වාසය පිළිබද ගැටළු අවම කිරීම සදහා එම ක්‍රියාවලිය මධ්‍යගතව මෙහෙයවීම වෙනුවට මූලික රෝහල් පද්ධතිය යොදාගනිමින් වඩා කාර්යක්ෂම කළ යුතුය. එහිදී සෑම මූලික රෝහලකම උණුසුම් දුරකථන අංකයක් ලබාදිය යුතු අතර දිසා රෝහල් ඇතුළු එම රෝහලේ පෝෂක ප්‍රදේශය තුළ පවතින සෙසු රෝහල්වලින් ඇඳන් ප්‍රමාණයක් වෙන්කළ යුතු අතර ගිලන් රථ කාර්යක්ෂමව ලබා ගැනීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය. එහිදි නිවෙස්ගත රෝගීන් සමග දිනකට දෙවතාවක් දුරකථනයෙන් තොරතුරු විමසීම සදහා එම වගකීම පවරනු ලබන වෛද්‍යවරුන් පිරිසක්ද එම රෝගීන් සදහා වෙන්කළ යුතුය. ඒ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් විසින් බිම් මට්ටමේදී අවශ්‍ය අධීක්ෂණය සිදුකළ යුතුය.

8. වසංගතය මගින් මතුවී ඇති පර්යේෂණ අවස්ථා ලබාගනමින් ප්‍රතිකාරක්‍රම පරීක්ෂාවට ලක්කිරීම සදහා රජයේ මදිහත්වීම ඉතා වැදගත් වේ. යම් බලධාරීන්ගේ පුද්ගලික කැමැත්ත, අකමැත්ත මත පර්යේෂණ පිළිබද තීන්දු ගැනීම නිවැරදි නොවේ. උදාහරණයක් ලෙස නිර්දේශීත දේශීය ඖෂධ 15ක් තිබියදී එක් ඖෂධයක් පිළිබද ඉතා කුඩා නියදියක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයක් මගින් සමස්ත දේශිය වෛද්‍ය ක්‍රමයට අදාළ ප්‍රවාදයක් ගොඩනැගීම සහ එය සමස්ත සමාජයටම ආදේශ කිරීම බලවත් වරදකි. පිලිපීනය වැනි රටවල් ආදර්ශයට ගෙන එම වරද නිවැරදි කළ යුතුය.

ඔබතුමාට තෙරුවන් සරණයි!

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස