කොරෝනා වැළඳී සැඟව සිටි මැණික් ව්‍යාපාරිකයෙක් අල්ලයි!

March 16, 2020 at 6:03 pm | by emanisa.lk

ජර්මනියේ සංචාරය කළ අවස්ථාවේ කොරෝනා වැළඳී ඒ බව දැන දැනත් සැඟව සිටි මැණික් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා වෛරසය වැළඳී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ මෙම පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (15) දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බව පැවසෙයි.

මිට පෙර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාරය කළ පුද්ගලයා සමග මෙම පුද්ගලයාද එම සංචාරයට එක්ව සිට ඇත. තමන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු පළමු පුද්ගලයා ගල්කිස්සේ ප්‍රදේශයේ සිටින සිය මිතුරන්ට ඒ ගැන දැනුම් දී ඇත.

සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කොට ඇත. එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී ඇත. තමන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුළත් නොවී නිවසටවී සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශවලට ඉමහත් වෙහෙසක් ගැනීමට සිදුවු බවත් අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බව වෛද්‍ය අනිල් ජාසිංහ වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස