කොරෝනා රට පුරා පැතිරෙන අදියරේ! ජනතාව උපදෙස් නොතැකුවොත් පාලනය කළ නොහැකි තැනට පත්වීමේ අවදානමක්!

March 21, 2020 at 2:08 pm | by emanisalk

කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආනන්ද සඳහන් කරන්නේ මෙම රෝගය මුලින් හමුවූයේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් වුවද මේ වන විට මෙරට පුද්ගලයන් අතර ද මෙය පැතිරීම ආරම්භවී ඇති බවයි.

කොරෝනා වෛරසය බෝවන වේගය ඉතා වැඩි බවත් එය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි බවත් ඔහු කියා සිටියි.

මෙය පාලනය කිරීම සඳහා හැකිතාක් ගමන් බිමන් අඩු කරන ලෙස ජනතාවගෙන් කොතෙක් ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර එතරම් යහපත් නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇති බවත් කී ඔහු රටක් ලෙස කල්පනා කර නිසි ලෙස කටයුතු කළහොත් මෙය පාලනය කළ හැකි බවද පැවසීය.

කෙසේ නමුත් රජය රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්දනය සඳහා සැලකිය යුතු ප්‍රශස්ත ලෙස මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකළහොත් මෙය පාලනය කළ නොහැකි මට්ටමකට යා හැකි බවත් ඔහු තව දුරටත් අවධාරණය කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස