කොරෝනා මෘතදේහ ආදාහනයට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි!

December 1, 2020 at 4:32 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම ඊයේ (30) සහ අද (01) දිනයේ සිදුවිය.

පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බව ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාද් බදුද්දීන්, අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ්, අමීර් අලි, ඒ.එම්. මහරූප්, හුසේන් බහිලා ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කරනු ලැබූහ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය ව්‍යාප්ත වීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැත යන්නය.

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කොට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම රජයේ අරමුණ නිසා, වෛරසය ආසාදනය වී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමට රජය තීරණය කර තිබෙන බව නීතිපතිවරයා (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

එම මෘත ශරීර ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට මිස කිසියම් ජන වර්ගයක් හෝ ආගමික කොටසක් අතෘප්තිමත් කිරීමට නොවන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සඳහන් කළේය.

එසේම එම මළ සිරුරු ආදාහනය කළ යුතුම ද නැද්ද යන්න සෞඛ්‍ය විශේෂඥයන් විසින් තීරණය කළ යුතු කරුණක් මිස අධිකරණයට ඒ බව තීරණය කළ නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස