කොරෝනා කියලා ශ්‍රී පාද වන්දනාව නවත්වන්නේ නෑ! නිරෝධායන නීති අනුව අදාළ සියලු තේවා කටයුතු කරනවා! – ශ්‍රී පාදස්ථානාධිපති හිමි..

October 30, 2020 at 10:59 pm | by emanisa.lk

ධනය බලය ගේ දොර ඉඩකඩම්වලට වඩා නිරෝගිකම වැදගත් බව පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසූහ.

ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් මේ බැව් කියා සිටියේ 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුම්වත් කිරීම සඳහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාරගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේ දි අනුශාසනාව කරමිනි.

නිරෝධාන රෙගුලාසිවලට අනුකූලව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සිමිත පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්විම පැවැත්විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ වුවද 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව ආරම්භ කරන බවයි.

එසේ ම පුරාණයේ සිට පැමිණෙන සිරිත් විරිත්වලට අනුකුලව උඳුවප් පොහෝ දිනයෙන් ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත්, පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ අවාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ දෙසැම්බර් (28) දින මාර්ග තුනක් ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බව ද එහිමියන් පැවසූහ.

පවතින වසංගත තත්ත්වය හමුවේ රටේ පවතින සෞඛ්‍යය නිර්නායකවලට අනුව කටයුතු කරමින් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් අදාළ තේවාවන් කටයුතු සිදු කරන බව ද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් වැඩි දුරටත් අනාවරණය කළහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස