කොම්පැනියක් දාලා රටේ පාරවල් ටික විකුණන්න හදනවා….! ආණ්ඩුව ජනතාවට මහ පාරත් නැති කරන්නයි යන්නේ….! – පාඨලී….

June 8, 2021 at 9:04 am | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.

ආණ්ඩුව මුහුණ දී සිටින දිනෙන් දින උග්‍ර වන මූල්‍ය අර්බුදයට පිළියම් නැති නිසා ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය සහ ඒ ආශ්‍රිත දේපොළ විදේශිකයින්ට අලෙවි කිරීමේ බංකොලොත් උපායමාර්ගයකට ආණ්ඩුව පිවිසී තිබේ.

“සහස්‍යා” නමින් නව සමාගමක් පිහිටුවා රටේ අධිවේගී මාර්ග පද්ධතිය සහ ඒ ආශ්‍රිත දේපොළ එම සමාගම යටතට පත්කොට එම සමාගමේ කොටස් අයිතිය සහ එක් එක් අධිවේගී මාර්ගවල හිමිකම් කොටස් “ආයෝජනය” යන වචනයේ මුවාවෙන් විදේශිකයින්ට අලෙවි කිරීම මෙම කූඨ ව්‍යාපෘතියයි.

මෙහි නියමු ව්‍යාපෘතිය වශයෙන් අද ඉදිකිරීම් ආරම්භ කල නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන කණු මතින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ මෙහෙයුම් කොන්ත්‍රාත්තුව විදේශ සමාගමකට ලබා දී ඇත. ඒ ඩොලර් මිලියන 800ක මුදලකටය.

මින් පෙර පැවති රජය කැලණි පාලමේ සිට රාජගිරිය HSBC ගොඩනැගිල්ල දක්වා වන 9 Km දුර ප්‍රමාණය සඳහා ඇස්තමේන්තු ගත කල මුදල වූයේ ඩො.මි180 කි. පවුල් 600ක් පමණ විතැන් කොට තවත් ඉඩකඩම් කිහිපයක් පවරා ගැනීම සඳහා රුපියල් බිලියන 12 ක් පමණ ඇස්තමේන්තු ගතකර තිබිණි.

නමුත් අද කිසිදු මූල්‍ය, පාරිසරික හෝ සමාජීය අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදී ඇත.

මෙම මාර්ගය ඉදිකළ පසු වසර ගණනාවක් එහි අයිතිය ඉදිකිරීම් භාර විදේශ සමාගමට හිමිවන අතර එකී කාලය අවසානයේ දී ව්‍යාපෘති වියදම පියවා ගැනීමට සමාගම අපොහොසත් වුවහොත් එහි හිඟ පරතරය ලංකා රජය විසින් ගෙවිය යුතු වන පරිදි ගිවිසුම් සකස් කර ඇත.

රටක මහාමාර්ග පද්ධතියේ වැදගත්ම අංගයක් වන අධිවේගී මාර්ග පද්ධතිය විදේශිකයින්ට විකිණීමේ සැබෑ පිරිවැය දරනුයේ අප නොව අනාගත පරම්පරාවයි. ආණ්ඩුවේ මේ බංකොලොත් උපාය මාර්ගය ක්‍රියාත්මක වුවහොත් මේ රටේ ජනතාවට මහපාරේ ඇති අයිතිය ද අහිමි වන බව කනගාටුවෙන් වුවද ලියා තැබිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස