කෙරවලපිටිය කමිටුවට පාඨලි පත්කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්!

February 27, 2019 at 11:01 pm | by admin

කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩරය ලබා දුන් ආකාරය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර එහි පාර්ශවකරුවෝ නීතියේ පිළිසරණ ද පැතූහ. මේ නිසා ම ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේය. කෙසේ වුවද ඒ සඳහා විදුලි බලාගාර ක්ෂේත්‍රයේ දූෂණ චෝදනා ලද අමාත්‍ය පාඨලි චම්පික රණවක පත් කිරීමට විරෝධතා මතුව ඇත. මේ ඊට විරෝධය පා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියකි.

ජනාධිපතිතුමන,
කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්භාවික විදුලි බලාගාර ටෙන්ඩරය පිළිබඳව සොයා බැලීම සඳහා ඔබතුමා විසින් අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අප සංවිධානයේ ස්තුතිය ඔබතුමා වෙත පළකරමු.

කැබිනට් මණ්ඩල විසින් උක්ත ටෙන්ඩරය අදාළ සමාගමට ලබා දීමට පෙර ඔබතුමා විසින් එම කමිටුව පත්කළේ නම් ඉතා අගනා බව අපේ හැඟීමයි. කෙසේ වෙතත් ජනාධිපතිතුමනි එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීම සම්බන්ධයෙන් අපගේ විරෝධය ප්‍රකාශ කරමු.

කිසියම් කමිටුවක ස්වාධීනත්වය අප මෙන්ම ඔබතුමා ද අපේක්ෂා කරන බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ඔබ තුමා විසින් එම කමිටුව සඳහා පාඨලී චම්පික රණවක මහතා පත් කිරීම මගින් එම කමිටුවේ ස්වාධීනත්වයට බාධා සිදුව ඇත.

අප සංවිධානය එසේ ප්‍රකාශ කරන්නේ අදාළ ටෙන්ඩරයට සෘජුවම සම්බන්ධ පාර්ශවකරුවෙකු වන ලක්දනවි සමාගමට අනුබද්ධ ආයතනයක් වන LTL සමාගම විසින් පාඨලී චම්පික අමාත්‍යවරයාගේ නිවස මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත.

එපමණක් නොව තවද කෙරවලපිටි දැනට ඉදිකර ඇති ලක්දනවි බලාගාරයේ පාඨලී චම්පික අමාත්‍යවරයාට භාවනා කිරීම සඳහා වෙනම කුටියක් ඉදිකර ඇත.

ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමතිවරයා එම කමිටුව නියෝජනය කිරීම මගින් සම්බන්ධතා අතර ගැටුමක් නිර්මාණය වී ඇත. ගැමි භාෂාවෙන් කිවහොත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමකි. තවද මෙරට ගල්අගුරු බලාගාර පිළිබදව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇත.

එබැවින් උක්ත කමිටුව සදහා ඔබතුමා විසින් යෝජනා කර ඇති පාඨලී චම්පික අමාත්‍යවරයා ඉවත් කර ඒ වෙනුවට සාගල රත්නායක අමාත්‍යවරයා හැර වෙනත් අමාත්‍යවරයෙක් පත් කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,
රංජිත් විතානගේ- පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස