කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන කතකට කොරෝනා! ICU ඇතුළු වාට්ටු තුනක් වසා දමයි!

October 17, 2020 at 6:35 pm | by emanisa.lk

කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ හේතුවෙන් මෙම කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුලත් කළ රෝහලේ 15 හා 11 වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

කුලියාපිටිය රෝහලේ මේ වන විට ප‍්‍රථිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රථිකාර කිරීම දිගට ම සිදුකරනු ලබන අතර නව රෝගීන් ඇතුළත් කිරීම මේ වන විට නවතා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රෝගීන්ට ප‍්‍රථිකාර කළ සාත්තු කළ සහ ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු මේ වන විට නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රථිස්ථාපනය කිරීමට මේ වන විට කටයුතු සිදුකරන බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා සඳහන් කළේය.

ඉකුත් 12 වෙනිදා හෘද රෝගයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද මෙම කාන්තාවට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

වෛද්‍යවරුන්ට පසුව ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමුවූ  විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇත. පසුව ඇයට PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස