කුරානයේ දේශනා ධම්මපදයේ දේශනාවලට සමානයි! – ඇමති මංගල සමරවීර

April 28, 2019 at 4:44 pm | by admin

ධම්ම පදයේ දේශනාවලට සමාන දේශනා ශුද්ධ වූ කුරානයේ සටහන්ව ඇති බවත්, එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි මෙන්ම, එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙස එය දැක්වෙන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව රට මුහුණදෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පෙරේදා (26දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් මතු කළේය.

“ධම්ම පදයේ දේශනාවන්ට සමාන දේශනාවන් ශුද්ධ වූ කුරානයේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ කියනවා එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි කියලා. ඒ වගේම, එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙසයි කුරානය පෙන්වා වන්නේ. ඒ වගේම, කෙනෙක් සියදිවි නසාගැනීම බරපතලම වරද ලෙස එහි හඳුන්වල තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන්නේ කිසිදු ආගමකට අනුව නෙවෙයි. මුස්ලිම් ජනතාවගෙන් 99%ක් මේ දේවල්වලට විරුද්ධයි.

අපි මේ මොහොතේ කළ යුත්තේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කරලා දැමීම නෙවෙයි. ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂා කර ගැනීම කළ යුතුයි. මුස්ලිම්වරුන් වසර 1,000කට අධික කාලයක් තිස්සේ රටේ සංස්කෘතියට, ආර්ථිකයට වගේ ම සංවර්ධනයට දායක වූ ජනතාවක්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස