කුඩු මඩින ජනපති සමග කැබිනට්ටුවේ වාඩි වන කුඩ්ඩන් 6 දෙනා හෙළි කරනු! කැබිනට් ඇමතිවරු 28 දෙනාගේ රුධිරය පරීක්ෂා කරනු!

February 19, 2019 at 11:00 am | by admin

කොකේන් සහ මර්ජුවානා මත්කුඩු භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා කවුරුන්ද කියා වහාම රටට හෙළි කරන ලෙසත් කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනාගේම රුධිර පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමටත් විපක්ෂය තීරණය කරයි.

හෙට (20දා) දින පාර්ලිමේන්තුවේදී මෙම බරපතළ කාරණය සම්බන්ධයෙන් විපක්ෂය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ‘මව්බිම’ට පැවැසීය.

කොකේන් හා මර්ජුවානා භාවිත කරන 6 දෙනකු පමණ අමාත්‍ය මණ්ඩලයේ සිටින බවට ආණ්ඩුවේම නියෝජ්‍ය අමාත්‍යවරයකු වන රන්ජන් රාමනායක මහතා සිදුකර තිබෙන බරපතළ ප්‍රකාශය ගැන ආණ්ඩුව වහාම රටට ප්‍රකාශයක් සිදුකළ යුතු බවද රංජිත් ද සොයිසා මහතා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත් උවදුර මැඬලීමට පියවර ගනිමින් සිටියදී මත්කුඩු භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනකු ජනාධිපතිතුමා සමඟ එකට කැබිනට් රැස්වීමේදී අසුන් ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයද අවධානය යොමු කළ යුතු බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.මෙම මත්කුඩු භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන්ගෙන් පරිස්සම් වන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මත්කුඩු භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් කවුරුන්ද කියා පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට හෙට දින කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමටද විපක්ෂය බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *