ක්‍රීඩකයින් එකතු කරන රට බෙදන්නේ දේශපාලනඥයෝ….! – චන්ද්‍රිකා….

July 6, 2021 at 11:58 am | by emanisa.lk

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.

හරවත් විවරණයක්

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ජීවත්ව සිටියේ නම් ඔහුට වයස අවුරුදු 89කි. 2005 වසරේ දී ඔහු ඝාතනයට ලක් වූ අතර 2004 වසරේ දී චැම්පියන්ස් කුසලාන තරඟාවලියක් අතරතුර ලන්ඩනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතා සිදු කළ කතාවක් අද ද බොහෝ දෙනෙක් සිහි කරති.

ඉන් කොටසක්,
“නෝනාවරුනි මහත්වරුනි, අපි විමසා බලමු දේශපාලනය සහ ක්‍රිකට් ක්‍රීඩාව සතුව එකිනෙකට සමාන යමක් තිබෙනවද කියා. මේ දෙකම ක්‍රීඩාවන් ය. දේශපාලඥයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් බැලූ බැල්මට එක සමාන වන නමුත් හාත්පසින්ම එකිනෙකට වෙනස් වේ. ඔවුන් දෙවර්ගය ම එක් දිනෙක පිළිගනු ලබන, නමුත් තවත් දිනක ඔවුන්ව ප්‍රතික්ෂේප කරනු ලබන ජනතාවගේ ආකර්ශනයට ලක් වේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් වෙහෙස වී වැඩ කරන අතර දේශපාලඥයින් වෙහෙස වී වැඩ කරන බව මවාපායි. ක්‍රීඩකයින් විනයගරුක වන නමුත් බොහෝමයක් දේශපාලඥයින් විනයගරුක බව පිළිබඳව කිසිවක් නොදනී. ක්‍රීඩකයින් ගෞරවනීය ක්‍රීඩාවේ නාමයෙන් ඔවුන්ගේ ශරීරය අනතුරේ හෙළන නමුත් බොහෝ දේශපාලඥයින් තමන් ආරක්ෂිතව සිටිමින් අන් අයගේ ජීවිත අනතුරේ හෙළයි.

ක්‍රීඩකයින්ගේ ක්‍රියාවන්ගේ ඵල විපාක ඔවුන්ට ලැබුණත්, දේශපාලඥයින්ගේ ක්‍රියාවන්හි ඵල විපාක ලැබෙන්නේ ජනතාවට ය. ක්‍රීඩකයින් තරුණ වියේ දී විශ්‍රාම ගියත් දේශපාලඥයින් සදාකාලිකවම බලය පසුපස හඹා යයි. ක්‍රීඩකයින් රටම එකතු කළත් දේශපාලඥයින් රට බෙදයි. ඔවුන් එකඟ නොවන තැනකදී වුවද තීරකයා විසින් ලබාදෙන තීරණයකට ක්‍රීඩකයින් එකඟ වුවත්, දේශපාලඥයින් යම්කිසි තීරකයෙක් සමග එකඟ නොවන්නේ නම් එම තීරකයා ඉවත් කරයි.

ජයග්‍රහණයේ මෙන්ම පරාජයේදීත් ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමග සිටියත් පරාජිත කණ්ඩායමක සිටින දේශපාලඥයින් සිදු කරන්නේ ජයග්‍රාහී කණ්ඩායම සමග එක් වීමයි. ඒ අනුව, පැහැදිළිවම, ක්‍රීඩකයින් වඩා හොඳ කණ්ඩායමකි,”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *