කළු ගඟට මුහුදු වතුර මුසු වෙයි! ලක්ෂ 04ක් බොන්නේ නුසුදුසු ජලය! වකුගඩු රෝග අවධානම කළුතරටත්!

April 7, 2019 at 9:44 am | by admin

කළුතර කළු ගඟෙන් ලබාගෙන කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් දොඩංගොඩ, කළුතර, බේරුවල හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් හැටනවදහසකට බෙදා හරින නළ ජලය බීමට නුසුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන රසායනික විශ්ලේෂකගේ ලබාගත් පරීක්ෂණ වාර්තාවක් අනුව ඒ බව පැහැදිලි වී ඇත.

ජලයේ විදුලි සන්නායකතාව තිබිය යුත්තේ 100ක් වුවත් කළු ගඟේ ජලයේ එම ප්‍රමාණය 5000 දක්වා වැඩි වී ඇත. ජලයේ ලවණ තත්ත්වය ලීටරයකට මිලිලීටර් 3000ක් වුවත් එය 5000ක්ද ෆ්ලෝරයිට් අගය 250ක් වුවත් එම ප්‍රමාණය 1800ක්ද, කැල්සියම් අගය 250ක් වුවත් එම ප්‍රමාණය 960ක්ද මැග්නිසියම් අගය 30ක් වුවත් එම ප්‍රමාණය 760ක් බවද සිදු කරන ලද රසායනාගාර පරීක්ෂාවෙන් සනාථ වී ඇත.

මීට මූලික හේතු වී ඇත්තේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වාත්, ජූලි අගෝස්තු සැප්තැම්බර් කාලයේ කළු ගඟට මුහුදු ජලය මිශ්‍රවීම බව සඳහන් වේ. මෙම ප්‍රදේශවල ජීවත් වන ලක්ෂ 4ක් පමණ ජනතාව බීමට ගන්නේ ජල සම්පත් මණ්ඩලයෙන් ලබා දෙන නළ ජලය වන අතර මෙවැනි තත්ත්වයකින් යුතු ජලය පානය කිරීමෙන් එය වකුගඩුවලට සෘජුවම බලපාන බව සෞඛ්‍ය අංශ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *