කවුරු පෝස්ටර් ගැහුවත් රටම ඉල්ලන්නේ රනිල්! එහෙම නෑ කියනවා නම් ඒක මෝඩ තර්කයක්! – වජිර

August 12, 2019 at 7:58 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම හා එකම අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ බවට කිසිදු සැකයක් නැතැයි අභ්‍යන්තර කටයුතු. ස්වදේශ කටයුතු. පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන පවසයි. වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූයේ මෙසේය.

ප‍්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව අර්බුදයේ අලුත්ම තත්ත්වය කුමක්ද? රනිල්ද? සජිත්ද? කරූද?

පිළිතුර – අපි රටක් භාර දෙන කොට හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඕන. එය ඉතාම පරෙස්සමින් කරන්න ඕන. කවුරුන් හෝ ඕනෑම පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයා රටක් භාර ගන්නේ. දෙකෝටි තිස් ලක්ෂයක ජනතාවක් භාර ගන්නේ. ඡන්ද දීපු හෝ නොදීපු සියලු දෙනාගේ ජන ජීවිතය භාර ගන්නේ. එම නිසා ඒ ධුරයට පත්වෙන පුද්ගලයා කේන්තියෙන්. වෛරයෙන්. ක්‍රෝධයෙන්. ඉරිසියාවෙන් එය භාර නොගත යුතුයි. දැනට මේ රට ගෙනියන්න පුළුවන් නායකයෙක් මේ රටේ ඉන්නවා නම් ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි. මහජනතාව විසින් අවුරුදු හතලිහක පනහක කාලයක් පුරුදු පුහුණු කරලා ආණ්ඩු පක්ෂයේ. විරුද්ධ පක්ෂයේ විවිධ තනතුරු දරමින් ඒ ධුරය සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි. වෙන කවුරුත් ඉන්නවා කියලා කවුරු හරි තර්ක කරනවා නම් ඒක මෝඩ තර්කයක්. එක්සත් ජාතික පක්ෂයට ඉතා පැහැදිලි ශක්තිමත් නායකත්වයක් තිබෙනවා. ඒ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය.

යුද්ධයක් අවසන් කරපු රටක ආපු මහා බලසම්පන්න රාජ්‍ය පාලනයක් යයි සිතු රාජපක්ෂ පාලනය මෙරටින් ඉවත් කරන්න ඔහුට හැකි වුණා.

එදා ඒ ගැන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එතුමා කතා කරද්දී සමහර අය කිව්වා කවදාවත් රනිල්ට ඒක කරන්න බැහැ කියලා. එතුමා 2014 ජනවාරි මාසයේදී තීන්දු කරලා ඉවරයි 2015 ආණ්ඩුව පෙරළනවා කියලා. ඒ අනුව විවිධ උපක‍්‍රම භාවිත කරමින් විවිධ දේශපාලන පක්ෂ විවිධ සංවිධාන එකතු කර ගෙන එතුමාට හැකි වුණා රාජපක්ෂ දේශපාලනය අවසන් කරන්න. 2015 ජනවාරි අට වැනිදාට පස්සේ මේ දක්වා ශක්තිමත් දේශපාලන ගමනක් එතුමා ගමන් කළා. මේ වන විටත්. ඉතිහාසය පුරාත් සියලු පක්ෂවලත් දේශීයවත් ජාත්‍යන්තරවත් සියලු එකඟතාව ලබා ගත් නායකයෙක් හැටියට ජනාධිපතිවරණයට තරග කරන්නට රනිල් වික‍්‍රමසිංහ හැර වෙනත් සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ.

ප‍්‍රශ්නය- ඒත් ඔබ එහෙම කිව්වට පක්ෂයේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් කියනවා ඊට සජිත් සුදුසු බව?

පිළිතුර – අපි හොඳට මතක තියාගන්න ඕන. ෆේස්බුක්වලින් රටේ වැඩිම කැමැත්ත ඇහුවොත් රන්ජන් රාමනායක කියලා කියයි. ඒත් අපි කවදාවත් රන්ජන් රාමනායක රටේ නායකයා කරන්නේ නැහැ නේ. ඒ නිසා පක්ෂයක නායකයෙක් කියන්නේ රටක් භාර ගන්න නායකයෙක් කියන්නේ පිරිපුන් නායකත්වයක් තියෙන. සෑම අංශයකම අත්දැකීම් පළපුරුද්ද තියෙන. සියලු ජාතීන්ගේ ප‍්‍රශ්න ගැන අවබෝධයක් තියෙන ඒවා විසඳිය හැකි නායකයෙක් තමයි රටට ඕන. එවැනි නායකයෙක් රටේ ඉන්නේ රනිල් වික‍්‍රමසිංහ පමණයි. එහෙම ඉද්දි වෙනත් නායකයන් අවශ්‍ය නැහැ එජාපයට.

ප‍්‍රශ්නය – රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණ ගණනාවක් පරාජය වුණා. 2015 දී ජයගත්තෙත් වත්මන් ජනාධිපතිවරයා සමග ආපු නිසා. ඒ හින්දා නව මුහුණක් ඕන කියලයි සජිත් කණ්ඩායම කියන්නේ?

පිළිතුර – සම්පූර්ණ වැරදි මතයක්. තිස් අවුරුදු යුද්ධයෙන් පස්සේ ප‍්‍රභාකරන් මරලා දැම්මට පස්සේ රටේ ඇතිවූ ජාතිවාදී මානසිකත්වය සමග ඇතිවූ දේශපාලන ප‍්‍රවාහය නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා එදා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අහසත් රාජපක්ෂලාගේ පොළවත් රාජපක්ෂලාගේ මුහුදත් රාජපක්ෂලාගේ. ඒක පරාජය කරන්න පෙළ ගැසෙන්න කියලා. එතකොට ඔය කණ්ඩායම කියනවා රනිල්ට පිස්සු. රාජපක්ෂලාට විරුද්ධව කතා කරන්න එපා කියලා. ඒත් රනිල් වික‍්‍රමසිංහ මහතා විවිධ දිස්ත‍්‍රික්කවලට ගිහිල්ලා ජනතාව දැනුවත් කරා අහසත් පොළවත් මුහුදත් රාජපක්ෂලා උරුම කරගෙන කියලා. හැබැයි ඊට පස්සේ රටේ ජනතාව ඒක පිළිගෙන ඒ පාලනය වෙනස් කළ යුතුයි කියල ජනතා මතයක් ඇති වුණා. ඒ වගේ දුර දැක්මක් තිබෙන රට පිළිබඳ අවබෝධයක් තියෙන නායකයෙක් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා.

2018 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදය තීක්ෂණ බුද්ධියකින් හසුරවලා. අද ඔය කෑගහන ඇමැතිවරුන්ට අයෙත් ඇමැතිකම් අරන්දීලා ගෙනයන පාර්ලිමේන්තුවක අගමැතිවරයා රට පාලනය කරන්න සුදුසුයි කියලා මුළු රටම දන්නවා

ප‍්‍රශ්නය – ඔබ අගමැතිවරයාගේ සමීපතමයෙක්. මලික්. එරාන්. අජිත්. සුජීව. හර්ෂ වගේ ඔහුගේ සමීපතමයන් රැසක් ඔහු හැරදා සජිත්ට කිට්ටුවෙද්දී කවුරුත් ඔබටත් කතා කළේ නැද්ද ඒ පිලට එන්න කියලා?

පිළිතුර – මට කවුරුත් කතා කළේ නැහැ. මම ඔහුගේ සමීපතමයෙක්ට වඩා විශ්වාසවන්තයෙක්. අද කාලේ ලෝකයේ කොහෙන්වත් ගන්න බැරිදේ විශ්වාසවන්ත කම.

ප‍්‍රශ්නය – 2015 පත්වුණු ඔබලාගේ පක්ෂය. ආර්ථිකය කඩා වැටිලා. ජනතාව නන්නත්තාර වෙලා. ජීවත් වෙන්න අසීරුයි කියල ජනතාව මැසිවිලි නගනවා?

පිළිතුර – එජාප අපේ ආණ්ඩුව පත්වුණේ 2018 දෙසැම්බර් 21 වැනිදා. ඊට කලින් තිබුණේ මේ වගේම පක්ෂය තුළ තිබූ කුලල් කා ගැනීම් නිසා නිසි ආසන ප‍්‍රමාණය ගන්න බැරි වුණු නිසා පිහිටවපු හවුල් ආණ්ඩුවක්. හවුල් ආණ්ඩුව තුළින් අගමැතිවරයා රටේ තිබුණු මහා ණය කන්ද ඩොලර් බිලියන එකයි දශම පහක ණය කන්ද ගෙවමින් රටත් ජනතාවත් ණය කන්දෙන් බේරාගෙන ආර්ථිකයත් දියුණු කරගෙන පවුල් ලක්ෂ අටකට සමෘද්ධි ලබා දෙමින් දේශපාලන අයිතිවාසිකම් ජනතාවට ලබා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් රනිල් වික‍්‍රමසිංහ අවුරුදු හතරක් පහක් ගොඩනගපු දේ පික් පොකට් ගහන්නයි මේ හදන්නේ. එතුමා ගොඩනගපු දේ ඉදිරියට ගෙනයෑමේ අයිතිය හා වගකීම ලබා දිය යුත්තේ ඔහුටමයි.

ප‍්‍රශ්නය – ඔබ ඔය කියන දේවල් ජනතාව පිළිගෙන නැති බව පහුගිය පළාත් පාලන මැතිවරණයේදී එජාපයේ පරාජයෙන් පෙනුනා නේද?

පිළිතුර – පළාත් පාලන මැතිවරණය වන විට ආණ්ඩුව භාරගෙන ණය ගෙවමින් තදවුණු මිරිකුණු ආර්ථිකයක් රටේ තිබුණේ. ඒ අවස්ථාවේ ජනතාව රතු එළියක් පත්තු කළා. ආණ්ඩුව නැවත කල්පනා කරලා නැවත ආර්ථිකය නිවැරදි ලෙස හසුරුවමින් නැවත රජය නිසි මාවතට ගන්න වාසියක් වුණා ඒ ජනතා තීන්දුව.

ප‍්‍රශ්නය – විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන බව පැවසෙනවා. ඔහුට මුහුණ දෙන්න එජාපය ලැහැස්තිද?

පිළිතුර- පංච මහා බලවේගයෙන් ගොඩනැගුනු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරයි කියලා මම හිතන්නේ නැහැ. බැරිවෙලාවත් එහෙම වුණොත් ඒක රටේ ජාතිවාදය වැපිරීම සඳහා තෝරාගත් අපේක්ෂකයෙක් වෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වූ සුළු ජාතික ඡන්ද ලක්ෂ 28 ක් තිබෙනවා. එය ජයග‍්‍රහණයට ඉතාම වැදගත්. එම නිසා සුළු ජාතික පක්ෂවල එකඟතාව අතිශය වැදගත්. කොහොම වුණත් ගෝඨාභය ඉදිරිපත් වුණොත් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඔබ සුළු ජාතික ඡන්ද ගැන කිව්වා. අද ලංකවේ සිංහල බහුතරය හිතන්නේ සුළු ජාතීන්ට වැඩි කැමැත්තක් තියෙන පක්ෂය එජාපය කියලා. මේ නිසා සිංහල බහුතරය පක්ෂයෙන් ඈත් වෙනවා නේද?

පිළිතුර – අපි කවදාවත් වංචා වැඩ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා මේ පක්ෂයේ හිටියා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒකයි. පක්ෂයේ අත්තිවාරමේ වෙනසක් නැහැ. ශ‍්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය පිළිගත් සියලු ජාතීනට ගරු කරන පක්ෂය එජාපය. අපට ජය පරාජය කොහොම වුණත් අපේ පදනම වෙනස් කරන්නේ නැහැ.

ප‍්‍රශ්නය – ඒත් සමහර මුස්ලිම් පක්ෂ එජාපය හැරදා යන්න හදනවා.

පිළිතුර – එජාපය හැරදා යන සුළු ජාතික පක්ෂ මීට පෙර දේශපාලනයෙන් සම්පූර්ණයෙන් අතු ගෑවී ගියා. අනාගතයේදීත් එලෙසමයි.

ප‍්‍රශ්නය – ඔබ දකුණේ දේශපාලනය කරන්නේ. රාජපක්ෂවරු දකුණේ අතිශය බලවත්. ගාල්ල දිනන්න ඔබට පුළුවන්ද?

පිළිතුර – කළුතර. ගාල්ල. මාතර. හම්බන්තොට. මොනරාගල යන දිස්ත‍්‍රික්කවල විශාල තරගයක් තිබෙනවා. ඔය හැමතැනම රජයේ සංවර්ධන වැඩසටහන්. ගම්පෙරළිය වැඩසටහන් ආදී සියල්ල නිසා ශක්තිමත් ජයග‍්‍රහණයක් ලබන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණවලදී ගාල්ල ජයග‍්‍රහණය කළේ එජාපය. ගාල්ල ජයග‍්‍රහණය කරනවා කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය – හැමෝම ජනාධිපති සිහින දකිනවා. නවීන් දිසානායක මහතා පවා කියලා තිබුණා ඒ ගැන. ඔබට එවැනි සිහින නැත්ද? දහනායක මහතාගෙන් පස්සේ ගාල්ලට රටේ නායකත්වය ගේන්න කැමති නැද්ද?

පිළිතුර – මමත් අවුරුදු තිහක් නොවෙනස්ව එජාපයේ වැඩ කරනවා. නායකයන් ගණනාවක් යටතේ මම වැඩකර තිබෙනවා. 1992 දී මම පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් විදිහට කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආවා. අපේ වගකීම අප ඉෂ්ට කළ යුතුයි. අපේ වගකීම ඉෂ්ට කරන අවස්ථාවේදී අනවශ්‍ය සිහින දකින්න ඕන නැහැ. රටක රාජ්‍ය නායකත්වයට යෑම සියලු දෙනාගේ සාධුකාරයෙන් යා යුතු ගමනක් මිස අනිත් අයගේ වෛරයට පාත‍්‍රවී එවැනි ගමනක් යායුතු නැහැ. සමහර අය එහෙම සිහින දකිනවා. ඒත් ඒ සිහින සාර්ථක වෙලා නැහැ.

ප‍්‍රශ්නය – 2015 දී ආණ්ඩුව ගනිද්දී පොරොන්දු රැසක් දුන්නා. ඒත් ඒවා නොකර මැතිවරණවලට යන්නේ කොහොමද?

ප‍්‍රශ්නය – අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළා. මාධ්‍ය නිදහස ඇතිකළා. පසුගිය ආණ්ඩුව මාරු කළ වහාම රටේ දූෂණ වංචා නතර වුණා. ආර්ථික දියුණුව ඇති කළ නිසා ලොව සංචාරක ව්‍යාපාරයට හොඳම රට බවට ශ‍්‍රී ලංකාව පත්වුණා. ඒ හින්දා තමයි අයි.එස්. ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාර එල්ල කළේ. මහා නියඟ ආවා. ගංවතුර ආවා. ඒත් ඒ සියලු බාධක ජය ගෙන ආර්ථිකය ශක්තිමත් කරා.

ප‍්‍රශ්නය – ඔබ දූෂණ නතර කළා කීවට ආසියාවේම ලොකුම දූෂණය කියලා කියන මහා බැංකු වංචාව සිදුවුණේ ඔබගේ ආණ්ඩුව යටතේ?

පිළිතුර – මේක දේශපාලන විහිළුවක්. මේ රටේ. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තියෙනවා ඒ ක‍්‍රමවේද වෙනස් කරන බවට. මහ බැංකුවේ ක‍්‍රමවේදය වෙනස් කරන බව අපි කිව්වා. මේක ව්‍යාපාර ලෝකයේ ගනුදෙනුවක්. ඒකේ ලාභයටත් අදටත් සීල් තියලා තියෙන්නේ. අද වන තුරු ඒ පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ එක තැනකවත් අගමැතිවරයාගේ හෝ වෙනත් ඇමැතිවරුන්ගේ නම් නැහැ. මේවා මඩ ගහන්න කරන වැඩ. මේක නීති නොතිබුණු නිසා ව්‍යාපාරිකයෝ ලාභ ලබපු අවස්ථාවක්.

ප‍්‍රශ්නය – ඔබ මොනවා කිව්වත් ඔබතුමන්ලා ගෙනාපු වර්තමාන ජනාධිපතිවරයාම කියනවා මේක මහා වංචාවක්. සියලු දෙනා අත්අඩංගුවට ගන්න කියල?

පිළිතුර – ඕනෑම ව්‍යාපාරිකයෙක් එතන නීති අඩු නම් විශාල ලාභ ලබනවා. අපේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් ඒ තත්ත්වයට ගිහින් අඩු නීති තියෙන තැන්වලින් විශාල ලාභ අරගෙන. අපේ රටේ ප‍්‍රධාන ව්‍යාපාරිකයෝ මියන්මාරයට ගිහින් විශාල ලාභ ලබනවා මේ දවස්වල. හේතුව එරට නීති රීති තවම හරි හැටියට හදලා නැති නිසා.

ප‍්‍රශ්නය – ඔබ විවිධ ණය යෝජනා ක‍්‍රම ගැන කිව්වත් ජනතාවට ඒවා ගන්න අමාරුයි. එහෙමත් නැත්නම් අතරමැදියන්ට මුදල් දෙන්න වෙනවා ඒවා ගන්න.

පිළිතුර – හරියට හරි. සම්පූර්ණ ඇත්ත. අපේ රටේ රාජ්‍ය බැංකුවල සේවකයෝ පහුගිය ආණ්ඩුවල දේශපාලන මතය දැරූ අය. එම නිසා මේ අය මේ යෝජනා ක‍්‍රමවලට බාධා කරනවා. මේ අයගේ මතය ආණ්ඩු විරෝධී මතය. මේ අය ආණ්ඩුවේ මතය ඉදිරියට ගෙනයන්න දෙන්නේ නැහැ. ආණ්ඩුව කොච්චර සල්ලි දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. මේවා පුද්ගලික බැංකු හරහා කරා නම් මීට වඩා සාර්ථකව කරන්න තිබුණා.

ප‍්‍රශ්නය – ආණ්ඩුවට අධිවේගී මාර්ගයක්වත් තවම කරන්න බැරි වුණා. රටේ සංවර්ධනය නතර වෙලා? මත්තල ගුවන්තොටුපළ. හම්බන්තොට වරාය විකුණලා?

පිළිතුර – පසුගිය රජය ගුවන් තොටුපළ වරාය සේරම දකුණේ ජනගහනය අඩුම දිස්ත‍්‍රික්කයට ගෙන ගියා. ගාල්ලේ මේ ගුවන් තොටුපළ තිබුණා නම් ලෝකයෙන්ම එනවා. එම නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා වෙන කරන්න දෙයක් නැති නිසයි ඉන්දියාවට හා චීනයට කතා කරලා මේවා දියුණු කරන්න කටයුතු කරන්න හදන්නේ. සින්නක්කරව විකුණලා තිබුණු ඒවා අපි ආපහු අනූනව අවුරුදු බදු ගිවිසුම් බවට පත් කළා.

අනෙක් අතට දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඕකට මුල්ගල් තිබ්බේ මමයි එවකට මහාමාර්ග ඇමැති තිලක් මාරපන මහත්තයයි.

ප‍්‍රශ්නය – ඔබට තියෙන්නේ භාරධුර අමාත්‍යාංශ රැසක්. කොහොමද ඒවායේ කටයුතු?

පිළිතුර – 1931 දී තමයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආරම්භ කළේ. සෑහෙන කාලයක් රටේ දිස්ත‍්‍රික්. ප‍්‍රාදේශීය මෙන්ම ගමේ පරිපාලනය කළේ එමගින්.

රට පුරා අපි අලුතින් දිස්ත‍්‍රික් කාර්යාල හැදුවා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හැදුවා සියගණනක්. විවිධ ස්ථානවල තිබූ ආයතන එක තැනකට ගෙනාවා. මෙවැනි සංවර්ධනයක් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වුණේ පළමු වතාවට. හැම ග‍්‍රාමසේවා වසමකටම කාර්යාල අලුතින් හදනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සියල්ල සාදා අවසන්.

රටේ සමස්ත ජනතාවට ඉතා ඉක්මනින් සුරක්ෂිත නව ජාතික හැඳුනුම්පතක් ලබාදීමේ කටයුතු ළඟදීම ආරම්භ කරනවා. ඒක හොරට හදන්න බැහැ. ලොව හොඳම තාක්ෂණය ගේනවා. ඉදිරියේදී දරුවා ඉපදුනු ගමන් හැඳුනුම්පත් අංකය ලැබෙනවා. ඒක අරන් ගියහම වෙන කොළ ඕන නැහැ. කෙලින්ම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. එතකොට දවසකට ලක්ෂ ගණන් ෆොටෝ කොපි ගහන එක නවත්වන්න පුළුවන්. මෙය ජනතාවට විශාල පහසුවක්. ඒ හරහා කාලය වගේම මුදල් ඉතිරි වෙනවා.

ජනිත සෙනෙවිරත්න
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස