කරුණා අම්මාන්ට දඬුවම් කළ යුතුයි! නැත්නම් ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්! – ඕමල්පේ සෝභිත හිමි

June 22, 2020 at 1:36 pm | by emanisa.lk

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝභිත හිමි නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

පොලිස් මූලස්ථානය, 2020/06/22
ඕල්කට් මාවත,
කොළඹ 01
ගරු පොලිස්පතිතුමනි,
කරුණාඅම්මාන්ගේ පාපොච්ඡාරණයට එරෙහිව රජය කටයුතු නොකළහොත්
ලංකාවේ නීති පද්ධතියට බලවත් හානියක් සිදු වේ.

ජාතික ලැයිස්තුවෙන් දෙවරක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වූ හිටපු ත්‍රස්ථවාදී නායකයෙක් වන කරුණාඅම්මාන් විසින් 2020/06/19 වන දින අම්පාර මැතිවරණ ප්‍රචාරක රැස්වීමේදී පවසා සිටියේ අලිමංකඩ හමුදා කඳවුරේ 2000-3000ක් පමණ හමුදා සාමාජිකයින්ව තමා විසින් සමූල ඝාතනය කළ බවත්, කිලිනොච්චියේදී තවත් අය ඝාතනය කළ බවත්ය. මෙම පුවත සිරස රූපවාහිනී නාළිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් විකාශනය කරන ලදී.

මෙම ප්‍රකාශය හමුදා සාමාජිකයින් සමූල ඝාතනය කිරීම පිළිබදව පාපොච්චාරණයක් ලෙස පිළිගත හැකි බවත්, ප්‍රසිද්ධ රැස්වීමේදී මෙම ප්‍රකාශය කර ඇත්තේ ජනතාවට මෙය විකාශනය වන බව දැන දැනමය. මෙයින් ඔහුගේ චේතනාව වන්නේ තමා එක් රැයකදී මිනිසුන් 3000ක් පමණ ඝාතනය කළහැකි පුද්ගලයෙක් බව දැන්වීමටය. කිසියම් පුද්ගලයෙක් තමා අතින් සිදු වූ ඝාතන පිළිබද කරන පාපොච්චාරණයක් පිළිබද සුදුසු පරීක්ෂණයක් කොට අදාල පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා පොලිසිය බැඳී සිටී. බොහෝ රටවල යුද්ධ අවසන් වූ පසු දෙපාර්ශවයට සමාව දී නීතියෙන් අවසන් කළ හැකිය.

නමුත් ලංකාවේ නීතිය මගින් සමාව දි අවසන් නොකළ බැවින් මිනීමරුවන් පිළිබදව නීතියෙන් පියවරගත යුතුව ඇත.මෙය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් ලෙස සැලකිය හැකිය. අලිමංකඩ සහ වව්නියාව හමුදා කඳවුරුවලට කරුණාඅම්මාන් විසින් කළ පහරදීම් නිසා දහස් ගණනක් මරණයට පත් වූ අතර දහස් ගණනක් පූර්ණ ආබාධිත තත්වයට පත්ව ඇති බව නොරහසකි. එමෙන්ම ජීවිත පිදූ හමුදා සෙබලුන් බහුතරයක් සිංහල බෞද්ධ අය බව නොරහසකි.

මේ අවස්ථාව වනවිට මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරයක් නොසන්සුන්තාවයක් ජනාවාර්ගික භේදයක් ඇතිකරවන ක්‍රියාවක් ඇතිවෙමින් පවතින බව සමාජ මතයයි. මෙය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනතේ 3(1) වගන්තිය යටතේ කරන ලද අපරාධයක් ලෙස සැලකිය හැක. සතුරුකම හෝ ප්‍රචන්ඩත්වයට පොළබවන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය කිසිඳු පුද්ගලයෙකු විසින් ප්‍රචාරණය නොකල යුතුය.

නීතිරීති සකසන පාර්ලිමේන්තුවේ දෙවතාවක් සිටි මන්ත්‍රී වරයෙක් මේ ආකාරයෙන් චේතනාන්විතව මෙම ප්‍රකාශය කිරීමෙන් ජනතාව අතර කැලබීමක් ප්‍රචණඩත්වයක් සතුරුකමක් ඇති වී ඇති බව ප්‍රකාශ කරමු. ඒ අනුව නීතියෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි !

මෙයට සසුන්ලැදි,

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස