කබ්රාල්ගේ ආර්ථික සැලැස්ම රටේ සම්පත් විකුණා දැමීම තමයි…! – හෙක්ටර් අප්පුහාමි…

October 1, 2021 at 2:29 pm | by emanisa.lk

රටේ සම්පත් විදෙස් රටවලට විකුණා ඩොලර් උපයා ගැනීම හැර වෙනත් කිසිදු ආර්ථික සැලැස්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

අද (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරි මාස 06 ක කාලය සඳහා වන ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළ බවත්, එදා හෙජින් ගිවිසුම වැනි ගිවිසුම් හරහා ආර්ථිකය කාබාසීනියා කළ අයුරින්ම ඉදිරි මාස 06 ක කාලය තුළ ද රටේ සම්පත් ඇමරිකාව ඇතුළු රටවලට විකුණා දමනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
යුගදනවි බලාගාරය හා LNG සැපයුම ඇමරිකානු සමාගමකට විකුණා දැමීම එහි එක් ක්‍රියාමාර්ගයක් පමණක් බවද හෙක්ටර් අප්පුහාමි සඳහන් කරයි.

මහ බැංකුව විසින් ‍ඇමරිකානු ඩොලරය සිර කරගෙන තිබෙන බවත්, බැංකුවට බලපෑම් කර ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 203 ක සීමාවේ තබාගෙන ඇති බවත් පෙන්වා දෙන හෙක්ටර් අප්පුහාමි, පවසන්නේ මේ නිසා කලු කඩයේ ඩොලරය රුපියල් 240 ට 245 ට විකිණෙන බවයි.

මෙරට බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි පවා පිළි නොගන්නා තත්ත්වයට ශ්‍රී ලංකාවට භාණ්ඩ එවන විදෙස් සමාගම් පත්ව ඇති බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *