කටුපොල් කොම්පැනි ආණ්ඩුවට උඩින් යයි…! සුසාන භූමියක් ඩෝසර් කර කටුපොල් වවයි…!

February 25, 2021 at 7:38 am | by emanisa.lk

දැරණියගල අංහෙට්ටිගම වත්තට අයත් වැලිහිඳ කොටසේ වසර පනහකට වඩා පැරණි පොදු සුසාන භුමියක් ඩෝසර් කර, මේ වන විට රජයෙන් තහනම් කර ඇති කටුපොල් සිටුවීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැරණියගල පොලිසියට පැමිණිලි කර තිබේ.

රජය විසින් කැබිනට් තීරණයක් මත තහනම් කර ඇති කටුපොල් ප්‍රදේශයේ වතු සමාගම් විසින් අලුතින් සිටු වීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනතාව පොලිසියෙන් ඉල්ලා සිටිති.

තමන්ගේ මුතුන් මිත්තන් මියගිය පසු ආදාහනය කළේ මෙම සුසාන භුමියේ බවත් වසර පනහකට වඩා පැරණි සොහොන් කොතක් ද තිබී ඇති බවත් මාස හයකට පෙර ආදාහනය කළ මිනිවළවල් උඩත් කටුපොල් හිටවා ඇති බවත් ජනතාව පෙන්වා දෙති.

ඒ නිසා ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඩෝසර් කළ පොදු සුසාන භුමියේ සොහොන් කොත කඩිනමින් නැවත ඉදි කරන ලෙසත්, අලුතින් සිට වන ලද කටුපොල් වහාම ගලවා ඉවත් කරන ලෙසත්ය.

රජය විසින් 2019 වසරේ කැබිනට් මණ්ඩලය කටුපොල් වගාව තහනම් කළ පසු මෙම වතු සමාගම කීපවතාවක් කටුපොල් නීති විරෝධි ලෙස හිටුවා ඇත. මේ පිළිබඳව ප්‍රදේශවාසින් විසින් දැරණියගල ප්‍රාදේශය ලේකම්වරිය හා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ වතු සමාගමට උපදෙස් දී ඇත්තේ කටුපොල් පැළ ගලවා ඉවත් කරන ලෙසයි. නමුත් වතු සමාගම් එම පැළ ඉවත් කර නැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස