ඡන්ද හිමි නාම ලේඛනයේ සිටින සියලු දෙනා වෙනුවෙන් රට වියදම් කොට අවසන් නිසා සියලු දෙනාම ඡන්දය භාවිත කිරීම වැදගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
“ඡන්දදායකයන්ට කියන්නේ අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරන්න. ඔබ ඡන්දය දැම්මත් නොදැම්මත් ඡන්ද නාම ලේඛනයේ සිටින එක් කෝටි හැත්තෑ එක්ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අටටම වියදම් දරා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා. ඡන්දය ප්‍රකාශ කරන්න අවශ්‍ය කරන ඡන්ද මධ්‍යස්ථාන ඇතුළු අනෙකුත් සියලු වියදම දරලා ඉවරයි. ඇඟිල්ලේ පාට ගෑවත් නොගෑවත් ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් ගෙනත් ඉවරයි. එම නිසා ඡන්දය පාවිච්චි කළත් නොකළත් ඔබ වෙනුවෙන් යන වියදම දරා අවසන්.
ආවට ගියාට ඡන්දය පාවිච්චි කරන්න එපා. මේ සභාව මොකක්ද, ඇයි මේ ආයතනය පිහිටුවා තියෙන්නෙ, මෙයින් කෙරෙන කාර්යභාරය මොකක්ද, ඒ කාර්යභාරය කරන්න පුළුවන් ප්‍රතිපත්තිමය කරුණු තියෙන්නේ මොන මොන දේශපාලන පක්ෂවලට ද සහ ඊට අදාළව ඔවුන් යොදවා තිබෙන පුද්ගලයන් කවුරුද කියන එක පිළිබඳ නිසි අවබෝධයකින් ඡන්දය පාවිව්වි කරන්න.
මැතිවරණ කොමිසම විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ ඡන්ද පාවිච්චි කිරීම. කාටද ඡන්දය භාවිත කරන්නේ කියන එක අපට වැඩක් නෑ. ඡන්දපොළට ඡන්ද දායකයන් ගෙන්වා ගන්න එක දේශපාලන පක්ෂවල වැඩක්. එසේ එන අයට පහසුකම් සැපයීම තමා අද දවසේ අපේ කාර්යභාරය. මේ සඳහා හොඳ ප්‍රචාරක කාලයක් දී තිබුණා. මේක ගමේ ඡන්දය.
බොහෝ තැන්වල ප්‍රතිඵලය ඒ වෙලාවේම ලැබෙනවා. සවස හතරට ඡන්දය ප්‍රකාශ කරන්න දුන් කාලය අවසන්. ගණන් කිරීම එම ස්ථානවලම පටන් ගත්තොත් සවස පහ, පහ හමාර වෙනකොට සභික කොට්ඨාසයට ප්‍රතිඵලය ගිහින් ඉවරයි. නමුත් මේ ක්‍රමවේදය තුළ පළාත් පාලන ආයතන ටික දිස්ත්‍රික්කය හදන්න ඕනෙ. දිස්ත්‍රික්කය ඒ ටික කර ප්‍රධාන කාර්යාලයට එවනවා. ඒක අපි නැවත බලා දිස්ත්‍රික්කයට කියනවා ප්‍රකාශයට පත් කරන්න කියලා. පසුව අපි සියලුම මාධ්‍ය ආයතනවලට ප්‍රතිඵල නිකුත් කිරීම සිදු කරනවා.
මෙවර ආයතන තුන්සිය තිස් නවයක් තියෙනවා. එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අට බෙදෙනවා තුන්සිය තිස් නවයෙන්. බොහෝ සභාවල ඡන්ද සංඛ්‍යාව හාරදාහ පන්දාහ වගේ අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේ තැන්වල ඉක්මනින් ප්‍රතිඵල ලැබීමේ ඉඩකඩ වැඩියි. එක නගර සභාවක ඡන්දය දෙන්න මුළු දිස්ත්‍රික්කයේම ප්‍රතිඵලය එන්න ඕනෙ නෑ. ඉක්මනින් ප්‍රතිඵල එනවා වගේම ආයතන තුන්සිය තිස් නවයක් තියෙනවා. ඒ නිසා ගත කරන කාලය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්.”